කතරගම කිරි වෙහෙර ළඟ හරි අනුරාධපුරේ රුවන්මැලිසෑය ළඟ හරි මහ රෑ වෙනකම් එක දවසක් හරි ඔබ ඉඳලා තියෙනවද? ජීවිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් එක මොහොතකින් අමතක වෙලා යන තැන් දෙකක් තමයි ඒ. හැබැයි මහා සෙනඟක් නොගැවසෙන නිස්කලංක රාත්‍රියක මේ තැන් දෙකට එන්න ඕන.
මීට පෙරත් නිස්කලංක රාත්‍රීන් කිහිපයක්ම මම මේ තැන් දෙකේදි ගත කරලා තියෙනවා. මැණික් ගඟෙන් එගොඩ වෙලා කතරගම පුද බිමට යනකොට හිතට එන්නෙ වෙනස්ම හැඟීමක්. වීදි කෙළවර එක පෙළට තියෙන දේවාලවලින් එන පූජා හඬ හිතේ ඇති කරන්නෙ පහන් හැඟීමක්.
වීදි දිගේ ඇවිදගෙන ගිහින් කතරගම දේවාල භූමියත් පහුකරලා කිරි වෙහෙරට යන වැලි පාරට ආවහම ඇස් මානයට එක පාරටම එන්නෙ සුදෝ සුදු පැහැයෙන් බබළන කිරි වෙහෙරේ කොත් වහන්සේ. කිරි වෙහෙර ළං නොකොට පාර දෙපැත්තෙ ඉන්න මල් විකුණන අයගේ කෑගැහිල්ල කන්කරච්චලයක් කියලා හිතුණත් එතැන පහු කරලා කිරි වෙහෙරේ සුදු වැලි මළුවට පා තියනකොට “නිදහස” ජීවිතේට ඇතුළු වෙනවා.
වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති රාත්‍රියක් නම් එහෙම දැනෙන නිදහස වචනයෙන් විස්තර කරන්න බෑ. මල් සුවඳත් එක්ක කිරි වෙහෙර වටා ඇවිදගෙන ගිහින් පැත්තක වාඩි වුණහම හිත සමනල තටුවක් වගේ සැහැල්ලු වෙනවා. එතකොට හිත එක් තැන් කරගන්න භාවනා කරන්නම ඕන නෑ. හිත එක්තැන් වෙන්නෙ නිරායාසයෙන්.
මෙය කියවන ඔබ හැම අවුරුද්දකම වගේ කතරගම වඳින්න එනවා ඇති. එතකොට කිරි වෙහෙරටත් එනවා ඇති. ඒත් මම කියපු අත්දැකීම ඔබ එක පාරක් හරි විඳලා තියෙනවද? එහෙම නැත්නම් ජීවිතේ එක පාරක් හරි එය විඳින්න. හැමදේකින්ම නිදහස් වුණ හිත කොච්චර ලස්සනද කියලා එතකොට ඔබට වැටහේවි.
හසිත - මව්බිම
http://mawbima.lk/40-47780-news-detail.html
No comments:
Post a Comment