Monday, May 28, 2018

ඌව නමේ අරුම

පෙර රජ දවස හෙළයන්ගේ බිම්කඩ කොටස් තුනකට වෙන් කර පලනය කර අයුරු ඉතිහාසයේ සදහන් වේ.ඒ රුහුණු , මායා,පිහිටි යනුවෙනි.ඌව අයිති වූයේ රුහුනු රටටම විය .වත්මන් ඌව නමින් ප්‍රචලිත ප්‍රදේශය පාලි මාහා වංශයේ සදහන් ව ඇත්තේ " හූවා රට්ඨ" නමිනි. ක්‍රි.ව පළමු සියවසේදී " හුවා කණ්ණි" වී,එකොළොස්වන සියවසේදී මේ බිම " හූව" නම් විය . දාහත්වන සියවසේදී එය " ඌව " නමින් පද පෙරෙළි වෙනස් වී ඇත. හූවා රට්ඨ ,හූවා කණ්ණි, හූව, ඌව වූයේ කේසේද? එම පද පෙරෙළිය සිදුවු අයුරු අප ජනප්‍රවාදකරුවන් නොයෙකුත් ආලවට්ටම් දමා හැඩවැඩ කර ඇති අයුරු අපූරුය. ඒ පිළිබඳ මදක් විමසා බලමු.



ඌරු සිටාණන්ගෙ කථා වස්තුව 
කාවන්තිස්ස රජ මාගම් පුරවරය කේන්ද්‍රකොට ගෙන රෝහණයේ රාජ්‍ය විචාරණ කල්හී රජුගේ එක් කුඹුරු රැක්මේ යෙදුණ මේ මිනිසා හට එක් දිනක් තමන්ගේ රාජකාරියට යාමට නොහැකි විය .ඒ අවසරයෙන් ප්‍රයොජනය ගත් වත් ඌරන් රැළක් කුඹුරු යායට වැදී අලපාළු කළහ.පසු දින කුඹුරුයාය වෙත ගිය රැකවලා සිදුවී ඇති විනාශය දැක රජුගේ තරම මතක්ව එදින රාත්‍රි කුඹුරු යාය වෙත පැමිණි ඌරු රැළ සමග වල්වැදුනාය.අහඹු ලෙස තම රැළට වැදුණු මිනිසා දුටු ඌරන් වනය දෙවනත් කරමින් දිවගොස් පාලුවූ වැවක් අසල නතර වූහ.එතැන් සිට මේ මිනිසා අල මුල් කරමින් ඌරුකු සේ ජීවත්වන්නට විය .කාලය මෙසේ ගෙවීගොස් ඊට පසු කන්නයේදී වල් ඌරු රළ සමඟ කුඹුරට වැදුනු මේ මිනිසා නව රැකවලා විසින් අල්වාගෙන ගොස් රජු වෙත ඉදිරිපත් කරන ලදී.එකදු වචනයක් බිනුවා ගැනීමට නොහැකි වූ රජතුමා අවසානයේ දී මේ මිනිසා ඔහුගේ බිරිඳට භාරකරන ලදි. බිරිඳට ද තම ස්වාමියාගේන් එකදු වචනයක් කථා කරවා ගැනීමට නොහැකි වූ තැන ඇය විසින් අපූරු උපායක් යෙදූවාය.ඒ තම ස්වාමියා කැවුම් කෑමට මහත් ගිජුකමක් දක්වන නිසා ඔහුට කැවුම් පිසීමට සියලු කළමනා එක්රැස් කරගත් ගැහැනිය තම ස්වාමියාට පෙනෙන සේ ගල්දෙකක් ගෙන තෙල් තාච්චිය තැබුවාය. ගල් දෙක මත නොරැදුනු තෙල් තාච්චිය බිමට පෙරලුණි කැවුම් කෑමට මහත ආශාවෙන් පෙළුණු මිනිසාගේ දෙතොල් විවර වී " මොඩ ගැනීයේ තව ගලක් ලිපට තියාපන් " යැයි මහ හඩින් පැවසීය. වහ වහා රජ මැදුරට ගිය ගැහැනිය තම ස්වාමියා කථාකරන බව මහ රජතුමාට සැලකරන ලදි. රජු මේ මිනිසා ගෙන්වා තොරතුරු විමසා ඌරන් ලගින ලද මඩ වළ වැවක් සේ පළිිසකර කර ඔහුට භාර කරන ලදි . කල්යෑමේ දී මහ ධනපතියකු වු මොහු " ඌරු සිටාණන් " නමින් ප්‍රචලිත විය. එම වැව ඌරු සිටාගේ වැව විය ඌවේ දකුණු දෙසින් පිහිටි " පණ්ඩවාපි " "පණ්ඩුවාපි" නමින් සදහන් වන්නේ මේ ඌරු සිටාගේ වැව බවට මතයක් ඇත.

දුටුගැමුණු නරපතියාණන් පොරොන්දු ඉටුකිරීම
 තුන් හෙළය එක්සේසත් කිරීම සදහා එළාර රජු සමඟ යුධ වැදීමට පෙර කතරගම දෙවියන් වෙත දුටුගැමුණු රජු භාරයක් විය. ඒ කේසේද යත්...?
එළාර රජු පරදවා තුන් හෙළය එක්සේසත් කිරිමට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය හිමි වුවහොත් කතරගම දෙවොල් බිමේ සිට සවිමත් පුරුෂයකු ලවා මහ හඩින් " හූවක් " කියවා ඒ හූ හඩ ඇසෙන මානයේ අට දිශාවේ සියළු ගම්බිම් කතරගම දෙවියන්ට පූජා කරන බව පොරොන්දු විය .එළාර රජු සමඟ සටනට වැද ජයගත් දුටුගැමුණු රජතුමා අට දිශාවේ ඈතින් ඈතට මිනිසුන් පෙළ ගස්වා සවිමත් පුරුෂයකු ලවා කතරගම දෙවොල් බිමේ සිට හූවක් කියවන ලදි .ඒ හූ හඩ ඇසුවන් අතුරින් අවසානයේ සිටි තැනැත්තන් සිටි ස්ථානයෙන් හී අට දිශාවේ කණු සිටුවා ඒ සියළු ගම් බිම් කතරගම දෙවියන්ට පූව් කරන ලදි . ඒ හූ හඩ ඇසුණූ මානය " හූව " නම් විය . පසුව පද පෙරෙළි " ඌව " නම් වූ බවට කතරගම ප්‍රබන්ධ සංග්‍රහයේ දැක්වේ.
සුළගේ හූ හඩ 
                       උසින් සිව් දහස් ගණනක                               බෝවේ
                       එමෙන් පහත රටටත් සුපිහිටියා                            වේ
                       තදින් එන සුළං හඩ සලකා                                හූවේ
                       පෙදෙන් නම සැදුණු හැටි පවසමී                        ඌවේ

 කිතුල් ඇල්ල හරහා කදුහෙල් සිපගෙන තුරු ලතා අතුරින් ඇදී එන "හූ" හඩ බදු හඩ නිසා " හූව" "ඌව" වියැයි ජනකවියා පවසයි . ( ඌ.ජ.ක සම්පාදක සටහන)

කදු මුදුන් 
ඉතා උස් කදු මුදුන්වලින් ගහණ වූ නිසා "ඌව" යන නාමය භාවිතයට පැමිණි බවට එක් ජනශ්‍රැතියක සදහන් වේ. 

හුය 
පෙර රජ දවස ගම් දෙටුවකුට හුයකින් ( නූල ) සීමා මායීම් ලකුණු කරදුන් බිම " හුය , හූව, ඌව " වූ බයටද මතයක් ඇත. 
හූව 
පෙර රජ සමයේ කදු මුදුනක රජු කිස සදහා " හූ " හඩින් ගැමියන් කැදවූ නිසා " හූව, ඌව " වටද එක් මතයකි

ඌ වීරා 
සියලු සෞභාග්‍යයෙන් සශ්‍රික වූ ප්‍රදේශය යන අරුත් දෙන්නට යෙදෙන සංස්කෘත වචනයක් " ඌව වීරා " යන වදන සිංහලට බිදී " ඌව " වූ බවට තවත් මතයකි.

 උප 
ජයවර්ධනපුර රාජ්‍යය සමයේ දී ඌව ප්‍රදේශය උප රාජ්‍යයක් පැවති බැවින් " උප, උව වී ඌව " බවට මතයක්ද ඇත.

 උල්පත් 
උල්පත් බහුලව මෙම ප්‍රදේශය ඇති බැවින ් "ඌල්" යන වදන " ඌව " වී යැයි තවත් මතයකි.

ඌරුන් කැපූ නිසා 
විජය රජු ඌරු වනයක සැගව සිට යකුන් කැපූ නිසා " ඌව " නම් වූ බවට ලංකා කඩයිම් පොතේ සදහන්ව ඇත.

නූල් කැටීම නිසා 
අතීතයේ ඌව ප්‍රදේශයේ නූල් කැටීම සදහා කපු වගාව බෙහෙවින් කළ නිසා "හුය" ( නූල ) යන වදන " ඌව " යන්නට පද පෙරෙලුණු බවට මතයක්ද තිබේ.

 - ‘‘ඌවේ වංහුං’’ සූජීව කුමාර කෝවිලතැන්න

No comments:

Search This Blog