Tuesday, August 9, 2022

ඌවේ කැරැල්ලේ පුරෝගාමී කිවුලේගෙදර මොහොට්‌ටාල.

 

 


 ක්‍රි.ව. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූ ප්‍රධාන කාරණයක්‌ වූයේ එවකට උඩරට සිටි ප්‍රධානීන් බලලෝභයෙන් භේදභින්න වී කටයුතු කිරීමය. ඔවුහු පසුව ඉංග්‍රීසීන් උඩරටට ගෙන්වා ගෙන ගිවිසුමක්‌ ද අත්සන් කරමින් උඩරට පාලන බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවරුවෝය. එතැන් පටන් ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පාලනය උඩරට රදළයන් බලාපොරොත්තු නොවූ එසේම රදළයන්ට අවාසි සහගත වූවක්‌ බව පෙනී යැමට වැඩි කලක්‌ ගත වූයේ නැත. මෙසේ උඩරටින් ඇති වූ අප්‍රසාදයේ ගිනි පුපුරු පුපුරා ගියේ ඌවෙනි. 1818 දී ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව ඇති වූ කැරැල්ල සුළු කලකින් මර්දනය කිරීමට හේතු කීපයක්‌ බලපෑවේය. එයින් ද ප්‍රධාන වූයේ සමහර සිංහල ප්‍රධානීන් ඉංග්‍රිසීන්ගේ තාන්න මාන්නවලට ලොබ වී ඉංග්‍රීසීන් වෙනුවෙන් කැරැල්ල මර්දනය කිරීමට ඉදිරිපත් වීමයි. ඔවුන් අතරින් මහවලතැන්න හා එක්‌නැලිගොඩ ප්‍රධාන වන අතර කැරැල්ල මැඬලීම සඳහා ඌව විනාශ කිරීමේදී ඌවේ අහිංසක ගැමියන් ඝාතනය කිරීමෙන් පමණක්‌ නොව ඔවුන්ගේ ගේ දොර, ගම්බිම් ගිනි තැබීම ද හරකබාන මරා දැමීම ද ඵල දරණ ගහකොළ කපා දමා විනාශ කිරීම ද කිරීමෙන් ඌවේ වැසියන් බියවද්දමින් කරනු ලැබුවේ මහා විනාශයකි. මෙහිදී මහවලතැන්න හා එක්‌නැලිගොඩ ඉංග්‍රීසීන්ටත් වඩා දරුණුව ක්‍රියා කළ බව වාර්තා වී ඇත. කැරැල්ල අවසාන වීමෙන් පසු කැප්පෙටිපොළ මෙන් ම මඩුගල්ලේ ද ඉංග්‍රීසීන් විසින් ෙද්‍ර`හියන් යෑයි නම් කොට හිස ගසා දමන ලද අතර මේ සටන ගැන සිහිපත් කරන බොහෝ අයගේ සිහියට එන්නේ ඒ දෙදෙනාගේ නම් පමණකි. එහෙත් ඉංග්‍රීසි විරෝධී මෙම කැරැල්ලේ ආරම්භය මෙන්ම අවසානය දෙස ද බැලීමේදී එහි මූලිකත්වය ගෙන ඇත්තේ කිවුලේගෙදර මොහොට්‌ටාල බව මනාව පැහැදිලි වෙයි.

1818 දී කීර්ති ශ්‍රී රාජසිංහගේ මස්‌සිනා කෙනෙකු වූ කළුනාක්‌කාරගේ පුතෙකු වූ දොරේසාමි නමැත්තෙකුට රජකම ලබා දීමට කිවුලේගෙදර මොහොට්‌ටාල ක්‍රියාකරන බවට රාවයක්‌ උඩරට පුරා පැතිර ගියේය. ඒ සමගම එම වසරේදී භික්‍ෂුන් පිරිසක්‌ කතරගම ගිය අතර එම පිරිසේ ප්‍රධානියා තමා කතරගම දෙවියන් විසින් රජු වශයෙන් පත් කොට ඇති බව කතරගම දේවාලයේ මහබෙත්මේ වූ කැබිලිත්තේ රාළ ඇතුළු පිරිසට දන්වමින් රාජසිංහ රජු විසින් කතරගම දේවාලයට දී තිබූ කඩුව හා රන් සළුව ලබා ගත්තෝය අනතුරුව ප්‍රදේශවාසීන් විසින් සැලකුම් ලබමින් ගිය මේ පිරිස පුබ්බාරය නම් ගමට ගිය කල්හි එහිදී පිළිගනු ලැබුයේ කිවුලේගෙදර මොහොට්‌ටාල ප්‍රධාන පිරිස විසිනි. එම අවස්‌ථාවේ දී කිවුලේගෙදර විසින් රජු වශයෙන් පෙනී සිටි තැනැත්තා පෙරවාගෙන සිටි සිවුර වෙනුවට සුදු රෙද්දක්‌ හා රන් නූලෙන් වියන ලද හිස්‌ පළඳනාවක්‌ ඔටුන්න සේ පළඳවා දොරේසාමී ජනතාවට ප්‍රථම වරට හඳුන්වා දුන්නේය. අනතුරුව කිවුලේගෙදර ද සමඟ මෙම පිරිස ඌවේ දුෂ්කර ප්‍රදේශයක්‌ වන කොකාගලට ගියේ ය. එහිදී ඔවුන් හමුවීමට පැමිණි මහබදුළුගම් රටේ රාළ ඇතුළු පිරිස පිළිගන්නා ලද්දේ ද කිවුලේගෙදර මොහොට්‌ටාල විසිනි. මෙම අවස්‌ථාවේදී රැස්‌වූ පිරිසට දොරේසාමි තමාට රජකමට ඇති උරුමය කියා පෑවේය. ඉනික්‌බිති මහබදුළුගම රටේ රාල දොරේසාමිගේ දෙපා නැමද තම පක්‍ෂපාතීත්වය කියා පෑවේය. නව රජතුමා විසින් පළමුවෙන් ම කිවුලේගෙදරට වලපනේ දිසා පදවිය ප්‍රදානය කළේය.



කිවුලේගෙදර මොහොට්‌ටාල වියළුවේ කිවුලේගෙදර නම් ගමේ උපන්නෙකි. වියළුව ප්‍රදේශය එකල රජ වාසලට මිරිස්‌ සපයන රාජකාරිය පැවරුණු ගමක්‌ බව පැවසේ. මෙම කාලයේ ඉංග්‍රීසි හමුදාවේ සේවය කළ මේජර් ෆෝබස්‌ විසින් රචිත ලංකාවේ එකොළොස්‌ වසරක්‌ නම් වූ ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ කැරළි නායකයන් අතර උපරිම කැපවීම කළේ කිවුලේගෙදර මොහොට්‌ටාල බවය. ඔහු දක්‌වන පරිදි කිවුලේගෙදර වූ කලී බකළ කකුලක්‌ හා බිහිසුණු පෙනුමක්‌ ඇති පහළ මට්‌ටමේ ප්‍රධානියෙකු විය. එසේම ඉංග්‍රීසීන්ට විරුද්ධව මුලින්ම ෙද්‍ර`හී කටයුතු ඇරඹුවේ ඔහුය. ඉංග්‍රීසි හමුදා නිලධාරීන් පිරිසක්‌ සමඟ අලුත්නුවර සිට මඬුල්ල බලා ගිය කෙනඩි නම් වෛද්‍යවරයා හා පිරිස තිබ්බොටුගොඩ අසළ දී මරා දැමුයේ ඔහු විසින් ය. මේ අනුව ද පෙනී යන්නේ කැරැල්ලේ මුල් ආරම්භකයා කිවුලේගෛදර මොහොට්‌ටාල බවය. කන්දකැපූඋල්පොත ගමමහගේ නමැත්තකු ඉඩම් ප්‍රශ්නයක්‌ හා සම්බන්ධව කිවුලේගෙදර මොහොට්‌ටාල හමුවීමට ගිය අවස්‌ථාවේ ඇති වූ සිද්ධියකින් ගමමහගේ මරා දැමීමේ චෝදනාවට හසුවීම නිසා ඔහුට එවකට බදුල්ලේ දිසාපති වූ රයිට්‌ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණ ද කිවුලේගෙදර සැඟවී ගියේය. දෙවැනි වරටත් ඔහුට කොළඹ දී බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරය හමුවන ලෙස නියෝග කළ ද ඔහු එම අවස්‌ථාව ද මඟ හැර ගියේය. පසුව 1816 දී ඔහු ඉංග්‍රීසීන්ට භාර වූ අතර උඩරට සිංහල නීතිය අනුව නඩුව ඇසීමට ජෝන් ඩොයිලි කටයුතු සැලැස්‌වීය. ඒ අනුව වලපනේ දිසාව වූ දූල්ලෑව, සහ උඩුගම්පහ යන ප්‍රධානීන් නඩුව විනිශ්චයකරුවන් සේ පත් කළහ. ඔහුට විරුද්ධව නගා තිබූ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් නොවුවද, සැකකටයුතු සේ සලකා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රඳවා තබන ලෙස ඩොයිලි නියෝග කළේය. නැවතත් මාතලේ හා වලපනේ දිසාව වූ කපුවත්ත වෙඩික්‌කාර ලේකම්, මහ ගබඩා නිලමේ ඉදිරියේ නඩුව ඇසීමේදී ඊට පෙර බොරු සාක්‌කි දුන් සුද්දනා නමැත්තකු ඒ බව පිළිගැනීම නිසා ඔහුට සිර දඬුවම් නියම විය. නඩුව තවදුරටත් කල් ගියේය. එහෙත් සිර භාරයේ සිටි කිවුලේගෙදර සිරගෙදරින් පැන ගිය අතර ඌවේ කැරැල්ල ආරම්භ කරන ලද්දේ එසේ සැඟවී සිටි ඔහු විසින් ය. මෙම කිවුලේගෙදර මොහොට්‌ටාලගේ රූපයක්‌ බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ ඇඳ ඇති බව පවසන මොනරාගල හිටපු දිසාපතිවරයකු වූ ස. ජ. සුමනසේකර බණ්‌ඩා මහතා එම ප්‍රදේශයේ ගැමියන්ගේ ඇදහිල්ලට ලක්‌ව ඇති සත්කට්‌ටුවක්‌ දේවතා බණ්‌ඩාරවරුන්ගේ අන්තිමයා වූ පුංචි අලුත්බණ්‌ඩාර දෙවියෝ නමින් මියගිය කිවුලේගෙදර මොහොට්‌ටාල පුදන බව ද සඳහන් කර තිබේ.

1818 දී කිවුලේගෙදර මොහොට්‌ටාලගේ මූලිකත්වයෙන් ආරම්භ වී තිබූ ඌවේ කැරැල්ලට කැප්පෙටිපොළ හෙවත් මොනරවිල දිසාව අතර මැඳ දී සම්බන්ධ වූයේ ඔහු කැරැලිකරුවන්ගේ සිරකරුවකු බවට පත්වීමෙන් පසුවය. පසුව ඔහු නිසා මඩුගල්ල හා පිළිමතලාව ද කැරැල්ලට සම්බන්ධ වූහ. මෙම කැරැල්ල ඉක්‌මන් කිරීමට හේතු වූයේ මෙතෙක්‌ පැවැති උඩරට සම්ප්‍රදායට විරුද්ධව වෙල්ලස්‌ස ප්‍රදේශය භාරව මුස්‌ලිම් ජාතිකයකු වු මුත්තුහඡ්ජියාර් ඉංග්‍රීසීන් විසින් පත් කිරීමය. පරංගි ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි පාලන අවධියේ ද වෙළෙන්දන් වශයෙන් කටයුතු කළ සමහර මුස්‌ලිමුන් සිංහල ප්‍රදේශවලට ගොස්‌ ඉංග්‍රිසීන්ට ඔත්තු සැපයීම කළ බවට වාර්තා කීපයක්‌ ම ඇති අතර මේ හැම මාර්ගයක්‌ නිසා ම මුස්‌ලිමුන් ඉංග්‍රිසීන්ගේ සිත් දිනා ගෙන සිටියහ. කෙසේ වෙතත් ඉංග්‍රීසීන් විසින් ඔවුන්ට ලබා දුන් බලයෙන් සිංහලයන්ට බලවත් සේ පීඩා වන පරිදි කටයුතු කළ බවට වාර්තා ඇත. මෙහෙයින් බූටාවේ රටේ රාළ හා පිරිස මුත්තු හඡ්ජියාර් අල්ලා කොකාගල සිටි නව රජතුමා වෙත ඉදිරිපත් කළහ. එහි දී ඔහුට මරණ දඬුවම දෙන ලදී. කැරළිකරුවන් විසින් බිබිලේ ඊතණවත්තේ දී මරා දැමූ බදුලු දිසාපති විල්සන්ගේ භාෂා පරිවර්තක කරෝලිස්‌ ඩයස්‌ මුහන්දිරම් ද අල්ලාගෙන අවුත් නඩු අසා මරණ දඬුවම දෙන ලදි. මෙකී නඩුවලදී නව රජුගේ තෝල්ක වශයෙන් කටයුතු කළේ ද කිවුලේගෙදරය.



මෙසේ ආරම්භ වූ ඉංග්‍රීසි විරෝධී ඌවේ කැරැල්ල පරාජයට පත් වූයේ ඉහත කී අයුරු සිංහල යෑයි කියාගත් එක්‌නැලිගොඩ, මහවලතැන්න ඇතුළු සමහර ප්‍රධානීන් නිසා ය. ඉංග්‍රීසීන් වෙනුවෙන් ඔවුහු සිංහල ජනයා ඝාතනයට වෙල්ලස්‌සේ සංහාරයක්‌ ආරම්භ කළෝය. ඉංගී්‍රසීහු උඩරට රජු වශයෙන් පෙනී සිටි දොරේසාමි අල්ලා දෙන කෙනෙකුට රික්‌ස්‌ ඩොලර් 2000 ක්‌ තෑගි දෙන බවට ද කිවුලේගෙදර හා බූටෑවේ රටේ රාළ අල්ලා දෙන අයට රික්‌ස්‌ ඩොලර් 500 බැගින් දෙන බවට ද නිවේදනයක්‌ නිකුත් කළහ. කැරැල්ලේ අතරමගදී ඊට සම්බන්ධ වූ කැප්පෙටිපොළ පිළිමතලාව හා මඩුගල්ල අල්ලා දෙන අයට රික්‌ස්‌ ඩොලර් 4000 ක්‌ (තරුපගෝදි 1000) ගෙවන බව ද ප්‍රකාශයට පත් විය. පසුව කිවුලේගෙදර සඳහා තරු පගෝදි 500 (රික්‌ස්‌ ඩොලර් 2000 ක්‌) ගෙවන බව බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා නිවේදනය කළේය. මේ අතර අභිනව රජු වඩුග වංශයට අයත් වූවෙකු නොව විල්බාවේ නම් වූ සිවුරු හළ තැනැත්තකු බව අනාවරණය වූයෙන් කැප්පෙටිපොළ මඩුගල්ල වැනි නායකයන් සටන අතහැරීමත් නිසා අවසානයේ ඔවුන් ඉංගී්‍රසීන් අතින් හිස ගැසුම් කෑවෝය. සටන නොනවත්වාම කරගෙන යන ලෙස කිවුලේගෙදර දැන්වුව ද, සබරගමු සත්කෝරළේ ආදි නායකයන්ගේ සහාය නොලැබීමෙන් කැරලිකරුවන්ට යටත් වීමට සිදු විය. ඉංග්‍රීසීන් හා ඔවුන්ට සහාය වූ ප්‍රධානීන් කිවුලේගෙදර සොයමින් සිංහල ගම් ගිනි තබා විනාශ කළහ. ඔහු සැඟවී සිටි වටගොල්ල කැලයේ ගල්ලෙනක තිබී හාපත්ගමුව විසින් කිවුලේගෙදරට එවූ තල්පතක සඳහන්ව තිබුණේ ඉංග්‍රිසීන් ඌවේ මිනිසුන් ද රැගෙන ප්‍රදේශය වටකොට ඇති හෙයින් යටත් වීම හෝ වස පානය කොට මිය යැමට සිදුව ඇති බවය. කිවුලේගෙදර කරන යම් දෙයක්‌ තමා ද කිරීමට සූදානම් බවය. අවසානයේ සටන පරාජයට පත් වීමෙන් පසු කිවුලේගෙදර යාචක වේශයක්‌ ගෙන සැඟවී ගියේය. එහෙත් පරණගම මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු ඔහු හඳුනාගෙන අලුත්නුවර බින්තැන්නේ දිසාවට භාර දුන් අතර පසුව ඔහු බදුල්ලට ගෙන ගොස්‌ 1818 නොවැ, 24 දිනක දී ඒජන්ත සෝවර්ස්‌ට භාර දෙන ලදී. යුද්ධාධිකරණයකින් නඩු අසා 1818 දෙසැ. 18 දින හිස ගසා මරණයට පත් කරන ලදී..


වෙල්ලස්සේ නිදහස් සටනේ සටන්කරුවෝ රදළයෝමද?



 

 
වෙල්ලස්සේ සටන රදලයින්ගේ සටනක් යැයි කීම දුටුගැමුණු රජුගේ සටන දස මහා යෝධයන්ගේ සටනක් යැයි කීම හා සමාන වූ අනුවණ කීමකි. විල්බාවේට එරෙහි කඩුවේදීද අනාවරණය වූ පරිදි ඉහළ රදලයින්ගේ දායකත්වයක් වී නම් ඒ කැප්පෙටිපොළ, මඩුගල්ලේ සහ ඇල්ලේපොළ වැනි නිළමේවරුන් කිහිප දෙනෙක් පමණි. ඒ හැරුණු විට සටනේ පෙරමුණ ගත් රදලයින්ගේ කුලීන බව ගැන සැකයක් නැතත් ඔවුන් රටේ රාල මොහොට්ටාල වැනි ප්‍රාදේශීය කුඩා තනතුරු දැරූ නායකයන් වූහ. උඩරට විශාලතම කුලය වූ ගොවි කුලය සටනේ වැඩි දායකත්වයක් දැරුවද, සෙසු සියලු කුලවල පුද්ගලයෝද සටන් පෙරමුණේ සිටියහ. සටන තුළ පංති හෝ කුල හෝ භේදයක් නොවීය. කැරැල්ලේ අභීත නායකයෙක් වූ හාමාපොළ දුරයා ගොවිගම වංශයේ නායකයෙක් නොවීය. ඔහුගේ මව වූ රන්කිරි සටන පැරද යන කැරැලිකරුවන් පාවා නොදී මරණය තෝරාගත් අභීත වීරවරියකි.


1818 නිදහස් සටන දුර්වල වෙමින් පැවතුණි. ඉංග්‍රීසීහු කොහුකුඹුරේ රටේ රාල වැනි සටන් නායකයින් සොයමින් වෙල්ලස්සේ ගම්මාන පීරමින් සිටියහ. ඒ අතර වෙල්ලස්සේ ගම් බිම්
ගිනිබත් කරමින් ඉංග්‍රීසින් පැමිණි අතර සටන්කරුවෝ හා ගම්වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත පසුබැස්සාහ. ජනප්‍රවාදයට අනුව බිබිල හාමාපොළ ගමේ ඉතිරිව සිටියේ රන්කිරි වැනි වියපත් ස්ත්‍රීන් කිහිප දෙනෙක් පමණි. හාමාපොළ දුරයාගේ නිවස වැටලූ සොල්දාදුවන් එය කොල්ලකා දුරයාගේ මහලු මව වූ රන්කිරි අත්අඩංගුවට ගෙන සිය ප්‍රධානියා වෙත ගෙන ගිය බව සඳහන් වේ.


කැරැලිකරුවන් සැඟව සිටි තැන් ප්‍රශ්න කරද්දී ඇය පැවසුවේ “ඔවුන් ඉන්නා තැන තමන් දන්නා බවත්, එහෙත් කිසිසේත් නොකියන බවත්ය” අත්, කන්, නාසය කපා ගෙල සිඳ මරා දැමුවද රන්කිරි ගෙන් කිසිවක් හෙළිදරව් නොවීය. රන්කිරිගේ වීරත්වය හෙළ ඉතිහාසයේ විහාරමහා දේවි, සෝමා දේවීන් දැක් වූ වීරත්වයට දෙවැනි වන්නේ නැත.


බදුල්ලේ විදීගුනේ දඩුවරාවේයායේ පදිංචිව සිටි ඩිංගිරි අප්පු හා බාලප්පු රදල වංසිකයින් නොවේ. දුර්ග මාර්ගයකින් ඉංග්‍රීසින් කැඳවා ගෙන ගොස් පර්වතයකින් ඇඳ දැමීමට ඔවුන් කටයුතු කළ බව මුඛ පරම්පරා ගත කතා කියයි. සටනින් පසු දිගාමඩුල්ලේ මුල්ලේගම, පාදාගොඩ, ගල්ගමුව, නෙල්ලියද්ද වැනි ප්‍රදේශද මොනරාගල උඩික්කැපූආර, කොටියාගල, කහම්බාන හා නැගෙනහිර ප්‍රදේශයේ පානම වැනි ප්‍රදේශවලට පලා ගියේ සටන්වැද සිටි සාමාන්‍ය ජනතාවය. 1818 පෙබරවාරි 19වැනි දින රොබට් බ්‍රවුන්රිග් බැතර්ස්ටි වෙත යවන ලිපියේ සඳහන් කරන්නේ “ඌවේ දිසාව හැර සෙසු කිසිම උසස් බලවත් නිලමේ කෙනෙක් සිංහාසන අපේක්ෂකයාට මෙතෙක් එළිපිට පක්ෂව නොසිටින බව උතුමාණන්ට දක්වනු කැමැත්තෙමි” යනුවෙනි.


සටනින් පසු විල්බාවේට එරෙහිව පැවති නඩු විභාගයේදී කතරගම මහබෙත්මේගෙන් අසනු ලබන 23වැනි ප්‍රශ්නය වන්නේ “කැරැල්ල ඇති වෙන්නට කලින් බොරු රජ්ජුරුවන්ට උඩරට කිසියම් නිලමේවරුන්ගෙන් හෝ නායක හාමුදුරුවන්ගෙන් හෝ රහසිගත ආධාර ලැබුණාද? යනුවෙනි. මහබෙත්මේ පිළිතුරු දෙන්නේ “මම දන්නේ නැහැ” යනුවෙනි.


එම ප්‍රකාශවලින් පෙනී යන්නේ වෙල්ලස්සේ නිදහස් සටන බහුජන නැගී සිටීමක් මිස පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සටනක් විය නොහැකි බවය. එම ලිපියේම රොබට් බ්‍රවුන්රිග් සඳහන් කරන්නේ ඉන්දීය ආණ්ඩුවෙන් උපකාරී හමුදාවක් ලබා ගෙන මිස කැරැලිකරුවන් එකමුතු කරන වැඩවලට විරුද්ධව සටනක් ගෙන යෑම ඉතා අමාරු බවය. එපමණක් නොව වෙල්ලස්සේ ජනතාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තම ගම් බිම් ධන ධාන්‍ය සම්පත් හැර දමා සටන් බිමට ගිය බව 1818 අප්‍රේල් 12 යවන ලිපියක මෙසේ සඳහන්ය.


“වෙල්ලස්සේද කලබල නැත. එහෙත් මරක්කල් මිනිසුන් හැර සෙසු සියලු දෙනා ඒ පළාත අත්හැර දමා වෙන පළාත්වල කැරැලිකරුවන්ට එකතු වී සිටිති” යනුවෙනි. උඩරට පුරා පැතිර ගිය සටන්වලට වෙල්ලස්සේ ජනතාව සහභාගි වූ ආකාරය මෙම ලිපියෙන් මනාව සනාථ වේ.


1818/07/07 වැනි දින ඛගෘග බුෂේගේ පොදු ආඥාවේ සඳහන් කරන්නේ උඩරට පළාත්වලට යවා ඇති හමුදා පිරිස ඔවුන්ට විරුද්ධව සටනට එන විශාල සංඛ්‍යාව හා සසදා බලන කල ඉතා සුළු බවය.


සටනේ නායකත්වය ගත් පිරිස් අතර, දඹගල්ලේරාල, වෙල්ලස්සේ මඩුගමේ රාල (මැදගමේ) කඳවින්නේ දිසාව (කැන්දවින්න) කඳවින්නේ මොහොට්ටාල, පල්ලේකිරුවේ මොහොට්ටාල, බකිනිගහවෙල උපසේකර මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු ආදීන් ද වූහ. මොවුන් සියලු දෙනාද බිබිල අවට ප්‍රදේශවාසීන්ය. එසේම අලව්මුල්ලේ රාල, නක්කල මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු, බකිනිගහවෙල මද්දුමරාල, බකිනිගහවෙල පුංචිරාල, ඊතණවත්තේ ගෙදර කපුරාල තවත් එවැනි බිබිල අවට සාමාන්‍ය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකි.


සටනින් පසු යුද නීතිය යටතේ සිරගත කරන ලද සිරකරුවන්ගේ නාම ලේඛනය පරීක්ෂා කිරීමේදී වෙල්ලස්සේ මෙන්ම මුළු මහත් උඩරටම විවිධ ප්‍රදේශවල විවිධ කුල සහ සමාජ තරාතිරම්වලට අයිති පුද්ගලයින්ගේ නම් අනාවරණ වේ. මඩුල්ලේ අරුමා, නින්දේගම ඩිංගා, ජුවානිස්, පලියා මහදුරයා, කින්ඩි මැණිකා දුරයා, බදුල්ලේ කිරිනයිදා, කටුගහවෙල දුරයා, බදුල්ලේ ගණිතා, බදුල්ලේ වීදිගුනේ, දඩුඅරාවේ ඩිංගිරි අප්පු හා බාල අප්පු, හාමාපොල රන්කිරි, සුරලා, පුංචා වැනි අයට කැරලි ගැසීම, කැරලිකාර ගතිපැවතුම්, කුමන්ත්‍රණ. මහජන කැලඹිලි කතා පැවැත්වීම, යුද වැදීම, කැරලි ගැසීමට අනුබල දීම ආදී විවිධ චෝදනා යටතේ නඩු පවරා මරණ දඬුවම, සිර දඬුවම, කස පහර දීම වැනි දඬුවම් නියම කර ඇත. ඒ අතර හතර කෝරලේ රොඩී කුලයේ පිරිසකටද දඬුවම් පමුණුවා ඇත.


ඒ හැරුණුවිට දේවදියේ රටේරාල, හිග්ගහලන්දේ විදානේ ආරච්චි, මුදියන්සේ පුංචිරාල, ගම් ඇති රාල, මත්තමගොඩ නිලමේ, විදවල මුදියන්සේ, මඩුගස්තලාවේ බස්නායක රාල, මඩුගස්තලාවේ මොහොට්ටාල, බොරගොල්ලේ මොහොට්ටාල වැනි රදල මෙන්ම ගොවිගම කුලයේ සෙසු පිරිස්ද දඬුවම් කළ සිරකරුවන්ගේ ලැයිස්තුවේ සඳහන් වෙන පුද්ගලයින් රාශියකින් කිහිපදෙනෙකි. සෑම සමාජ තරාතිරම පුද්ගලයින් සටන් වැදුණු බව පෙනේ. එහෙත් උඩරට හැරුණු විට සෙසු ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු හැරුණු විට ප්‍රදේශ හෝ සමාජ කණ්ඩායම් හෝ මෙම සටනට සහභාගි වූ බවක් නොපෙනේ.


ගොවිගම කුලේ නොවූ පිරිස් අතර පහත සඳහන් රණවිරුවෝද අමතක කළ නොහැකිය. 1818/11/14 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ අලුවෙල මහදුරයා එලෙසම කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල අහිමි වූ උඩකුඹල්වෙල කළුවා, උඩුවෙල දුරයා, කැටකෑලේ දුරයා. 1818/06/30 යුද්ධාධිකරණය මගින් බදුල්ලේදී මරණ දඬුවම නියම කර එල්ලා මරා දැමූ කිරිනයිදා 1818/08/26 වැනි දින පරණගමදී මරණ දඬුවම් නියම කළ කිරිනයිදා, 1818/07/02 මරණ දඬුවම නියම කළ කිරිමින්දා, කොළඹ සිර අඩස්සියේ රඳවා සිටි කෝලා 1818/08/25 දින පරණගමදී මරණ දඬුවම දුන් ගණිතා 1818/11/14 කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ ගොඩමුන්නේ හංගිඩියා. තුප්පිටියේ බෙරවයන්නා 1818/05/06 වන දින ලුතිනන් කර්නල් මොෆෙට් විසින් මහනුවරදී පැවැත් වූ යුද්ධාධිකරණයේදී මරා දැමීමට තීරණය කර එම වසරේම 05/31 වැනිදා එල්ලා මරා දමන ලද පෑලව මහදුරයා එම වසරේම අගෝස්තු 28 වැනි දින මේජර් මැක්ඩොනල්ඞ් පරණගමදී යුද්ධාධිකරණයේදී මරණ දඬුවම දී එල්ලා මරා දමනු ලැබූ පුංචා, ඩග්ලස් විලසන් මරා දැමූ පුද්ගලයින් සිවු දෙනාගෙන් අයෙක් ලෙස මීගහපිටියේ රාල විසින් නම් කළ පොල්ගහවෙල බඩහැලයා, පුංචි හලුවා 1818/01/27 වැනි දින යුද්ධාධිකරණය මගින් මඩුල්ලේදී මරණ දඬුවම නියම කරන ලද එදිනම එල්ලා මරා දැමූ මඩුල්ලේ අරුමා, මුල්ලෙන්වරිගේ ගවලියා, 1818/11/24 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කරනු ලැබ දේපල රාජසන්තක කරනු ලැබූ ලුනුගල දුරයා, හිත්තරයා. වැනි විරුවන්ද ගොවිගම කුලේ අය නොවන බව පෙනේ.
මෙසේ ආදිවාසීන්ද, විවිධ කුලවල ජනතාවද පමණක් නොව විවිධ කුලවල කාන්තාවෝද වැඩවසම් සමාජයේ වුවද නිවසට වී නොසිටියහ. ජනප්‍රවාදයේ එන බූටෑවේ රටේරාලගේ දියණියද, හාමාපොළ රන්කිරිද, කන්දේකැටියේ රටේ රාලගේ සහෝදරියද, සටන්කරුවන් ඔටුනු පැලඳවූ විල්බාවේගේ බිසව වූවා යැයි සැලකෙ කොහුකුඹුරේ රටේරාලගේ සහෝදරියද ඉන් කිහිප දෙනෙකි.


සටනේ සමස්ත ජන සහභාගිත්වය විශේෂයෙන් වෙල්ලස්ස ප්‍රමුඛ උඩරැටියන් විය. එහෙත් කොළඹ උන්නාන්සේ, ගාල්ලේ උන්නාන්සේ වැනි ස්වාමීන් වහන්සේලාද, බඹරැන්දේ යාපා අප්පුහාමි වැනි පහතරැටියන් කිහිප දෙනෙක්ද නිදහස් සටනට උරදුන්හ.
මැලේ සහ මලබාර් ජාතිකයින් කිහිපදෙනෙක් වෙල්ලස්සේ සටන්කරුවන් හා එක්ව සිටි බව පෙනේ. මලබාර් ජාතික වෙළෙන්දෙක් වූ ක්‍රිෂ්ණා, මැලේ ජාතිකයෙක් බව පෙනී යන හේදර, සයිබු, කැප්පෙටිපොළට ආරක්ෂාව දුන් වෙලන්ගස්හින්නේදී යටත් වී ගාල්ලේ සිර අඩස්සියේ රඳවා තැබූ සෙයියදූ අසන් ඒ අතර වේ. 1818/11/01 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මහනුවරදී අත්අඩංගුවටගත් කැප්පෙටිපොළගේ ආරක්ෂාවට සිටි වීරපත්‍රම් ඉන්දියානු ජාතිකයෙක් බව පෙනේ. රඝු, බොම්බායේ සිට පැමිණ කැරැල්ල අවස්ථාවේදී කැප්පෙටිපොළට ආරක්ෂාව සැපයූ මස්තෙල්ලේද මලබාර් වැසියකු වූ බීමා ද මැලේ ජාතික බාවා සයිගුද 1818/10/05 වැනි දින මහනුවරදී අත්අඩංගුවට පත් වූ මැලේ ජාතික පකීර් පූකි ද ඒ අතර වේ. 1818 ඔක්තෝබර් මස විල්බාවේගේ අනුගාමිකයන් සමූහයක් සමඟ සිටියදී අත්අඩංගුවට ගත් බාවා සයිගු විල්බාවේට සමාන ස්වරූපයක් ඇති අයෙක් බවද සඳහන් වේ. සෝගමෝලි වෛරමුත්තු චිට්ටි, කැරලිකරුවන් අතර මූලික ස්ථානයක් ගෙන ක්‍රියා කළ දෙමළ ජාතිකයෙක් බව එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1820 යවන ලද සංදේශයක සඳහන් වේ.

 

රෝහණ අනුර කුමාර හේරත්
මහාධිකරණ විනිසුරු - මහනුවර

Saturday, August 6, 2022

ඩිජිටල් නායකත්වය | Digital Leadership

නායකයෙක් කීවාම අපේ මනසට එසැනින් එන්නේ දේශපාලන නායකත්වයක්. ලංකාව වගේ රටක ඩිජිටල් නායකත්වය කිව්වාම අලූත් දෙයක්. හැබැයි මේක ලෝකයේ දියුණු රටවල භාවිතාවන සංකල්පයක්. රටකට නායකයෙක් වගේම ආයතනයකටත් නායකයෙක් සිටිනවා. මේ සංකල්පය තුළ එන කොටස් කීපයක් තියෙනවා. ඒක හරියට අවබෝධකර ගත්තොත් අපිට මේ ගැන ගැඹුරින් හිතා බලන්න පුළුවන්. මෙහි තියෙනවා සංනිවේදනය. විශේෂයෙන් අපි ඩිජිටල් තාක්ෂණය අපි භාවිතා කරනකොට සංනිවේදනය අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟට දැක්ම. දැක්මක් තියෙන්න  ඕනේ. ඩිජිටල් නායකත්වයකට ආයතනය ගැන රට ගැන එ් විදියට දැක්මක් තියෙන්න  ඕනෙ. ඊළඟට ඩිජිටල් සාක්ෂරතාවය. මෙහිදී තමන් කොච්චර දුරට පරිගණකය ආශ‍්‍රිතව තියෙන උපකරණවලට කොච්චර සහසම්බන්ධද  තමන්ට කොපමණ වැඩ කොටසක් ඒ ඔස්සේ කරන්න පුළුවන්ද කියන එක. ඊ ළඟට උපායමාර්ග. අපි යම්කිසි දේවල් කරගෙන යද්දි යම් යම් දේවල් භාවිතා කරනවා. මේ උපාය මාර්ග සම්බන්ධයෙන් දැනුවත්මක් කරන්න  ඕනෙ. ඊට එහාට ගියොත් නවඋත්පාදනය.  අලූත් දේවල් නිර්මාණය කිරීමට මේ තාක්ෂණයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අවදානම ගැන සාකාව. අවදානම කියන්නේ මේ වසංගත රෝග තත්ත්වය ගැන අසත්‍ය ප‍්‍රචාරකරනවාට වැඩිය අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න  ඕනෙ.

ධනාත්මකව අපි මේකට මුහුණ දෙන්නේ කොහොමද, සෞඛ්‍ය අංශවලින් අපිට භාවිතා කරන්න කියලා තියෙන ක‍්‍රමවේදයන් මොනවාද, ආරක්ෂක අංශවලින් අපිට දීලා තියෙන ක‍්‍රමවේදයන් මොනවද කියලා අපි දැනුවත් වෙන්න  ඕනේ. අන්න ඒ සඳහා මේ ඩිජිටල් තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව අනුවර්තිතාවය. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් අපි යමක් කරනවා නම් එකදිගට කරන්න ඒ තියෙන කුසලතා  අපි වර්ධනය කරගෙන අඛණ්ඩව කරන්න  ඕනේ. ඒ අනුව තමා මේ ඩිජිටල් නායකත්වය ගොඩ නැගෙන්නේ. ඊළඟට  කුසලතා ස්ථානගත කිරීම. මේක අතිශයින්ම වැදගත් දෙයක්. ආයතනයක් ගත්තොත් එහෙම විවිධ අයට විවිධ කුසලතා තියෙනවා. මේ ඩිජිටල් පරිසරය තුළ විවිධ වෘත්තීන් තියෙනවා. අපි මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් ගත්තොත් එහෙම එහි ඉන්නවා මෘදුකාංග ඉංජිනේරුවරු. ඊළඟට එහි ඉන්නවා මෘදුකාංගය සැලසුම්කරන ශිල්පීන්. මෘදුකාංග තත්ත්වපාලන ඉංජිනේරුවරු. මේ හරහා රැකියා වෙළෙඳ පොළක් බිහිවෙලා තියෙනවා. ඒ වගේම එකිනෙකාට විශේෂිත වූ කුසලතා තියෙනවා. එ්වා හඳුනාගෙන ආයතනයක් විදියට, රටක් විදියට  හෝ තමන්ගේ පුද්ගලික ජීවිතයට භාවිතා කරන්න පුළුවන් නම් මේ ඩිජිටල් පරිසරය තුළ ඉහළ ස්ථානයකට එන්න කෙනකුට හැකියාව ලැබෙනවා. ඒකට අපි කියනවා දත්ත විශ්ලේෂණය කරලා දත්ත යොදාගෙන තමන්ගේ කාරණා සංවර්ධනය කරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු තමන්ගේ ජීවිතය වර්ධනය කර ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. එසේ  වර්ධනය කරගත් තැනැත්තාට කියනවා ඩිජිටල් නායකත්වය සතු පුද්ගලයෙක් කියලා.

පුලස්ති වන්නිආරච්චි,
ඩිජිටල් අලෙවිකරණ උපදේශක

 

Friday, August 5, 2022

බදුල්ල ඕලන්ද බලකොටුව - පැරණි වෙලේකඩේ වෙළඳපොල

 බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ලන්දේසි බලකොටුව (ඕලන්ද බලකොටුව) ලෙස කලින් හැඳින්වූ පැරණි වෙලේකඩේ වෙළඳපොල පිහිටා ඇත. එය බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය අසල බදුල්ල පළාත් මහ රෝහලට අසන්නව පිහිටා ඇත. ඇල්ල සිට ඕල්ඩ් වෙලේකඩේ මාර්කට් දක්වා ඇති දුර කිලෝමීටර් 21.6 ක් වන අතර එය විනාඩි 40 ක දිගු ගමනකි.


එය 2008 ජුනි 06 දා සිට ආරක්‍ෂිත ගොඩනැගිල්ලක් ලෙස මෙය නම් කරනු ලැබූ අතර, දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කොට පාලනය කරයි. මෙම ස්ථානය ලන්දේසීන් විසින් මාලිගාවක් හෝ බලකොටුවක් ලෙස භාවිතා කළ අතර අනෙක් අය පවසන්නේ එය බ්‍රිතාන්‍යයන් විසින් 1889 දී ඉදිකරන ලද්දක් බ‍වත් මතයක් පවතී.


1818 දී බ්‍රිතාන්‍යයන් උඩරට සම්මුතියට අත්සන් තැබීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු කළ එක් ක්‍රියාවක් ලෙස එය පිළිගැනේ. එය බ්‍රිතාන්‍ය විලාසිතාවේ ලී ආරුක්කු වලින් සමන්විත වන අතර එය වර්තමානයේ දැකිය හැකි අතර එය ද සමන්විත වේ ඉහළ මධ්‍යම වහලක් සහ පිවිසුම් හතරක් සහිත පහළ වහලක්. අභ්‍යන්තර අවකාශයේ අෂ්ඨාශ්රාකාර ප්‍රාථමික සංයෝගයක් සහ හරස් හැඩැති යාර හතරක් ඇත. තවත් ගොඩනැගිල්ලක් හරස් හැඩයෙන් සාදා ඇත. පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම් පවත්වා ගැනීම සඳහා මෙය සිදු කෙරේ.

 


 

Search This Blog