Tuesday, February 2, 2016

වෙල්ලස්‌සේ විමුක්‌ති සටනේදී ඌවෙන් ලැබුණු දායකත්වය



පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් ගොඩනැඟූ යටත් විජිතවාදයේ ගොදුරක්‌ බවට ශ්‍රී ලංකාව ද පත්විය. එහිලා භූගෝලීය පරිස්‌ථිතිය ද ප්‍රබල හේතුවක්‌ විය. උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටිය උතුරු ආසියානු ආක්‍රමණවලට අවතරණ බාධකයක්‌ වූ අතර මධ්‍ය ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටිය ද දක්‍ෂිණාපථයේ චෝල අධිරාජ්‍යවාදීන්ට උතුරු ඉන්දියාව යටත් කිරීමේ අවතරණ බාධකය ද විය. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක්‌ වීමෙන් සුබවාදී වාස්‌තවික තත්ත්වයන් ඇතිවූවා සේ ම අසුබවාදී වාස්‌තවික තත්ත්වය ද ලංකා ඉතිහාසය පුරාම ඇතිවිය.

සමුද්‍රාධිපත්‍යය ලැබූ අපරදිග පාලකයන්ගේ අධිරාජ්‍යවාදී විජිත ග්‍රහණයේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ශ්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක්‌ විය. එය භෞතික වූ සාධකයකි.



ඉංග්‍රීසි පාලනය මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ ද උඩරටට එල්ල වී මාතෘ භූමියම ඔවුන්ගේ ග්‍රහණයට නතු විය. 1818 විමුක්‌ති අරගලය කැරැල්ලක්‌ ලෙසින් අර්ථකථනය කිරීම සාවද්‍ය වුවකි. එය සැබෑ විමුක්‌ති අරගලයකි.

”1815 දී ආරම්භ වූ උඩරට ඉංග්‍රීසි පාලනය බිඳ දමා ස්‌වදේශිකයන්ගේ රජයක්‌ පිහිටුවීමේ අදහසින් 1818 ඔක්‌තෝම්බර් මස අරඹා ගෙන යන ලද්දා වූ මුළු උඩරට ප්‍රදේශය පුරාම වාගේ ව්‍යාප්ත වී ගිය මහා සිංහල පෙරළිය උඩරට කැරැල්ල නමින් හැඳින් වේ. ප්‍රතිෂ්ඨාපිත රජයකට විරුද්ධව ගෙන යන ලද යුද්ධ ව්‍යාපාරයක්‌ නිසා ”කැරැල්ල” නමින් හංවඩු ගැසුන එය ඇත්ත වශයෙන් ම සිංහලේ ප්‍රථම නිදහස්‌ සටන නොවී දැයි යන්න ඉතිහාසඥයන් බොහෝ දෙනකු නඟන ප්‍රශ්නයකි.

(සිංහල විශ්වකෝෂය, iv කාණ්‌ඩය, 392 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

උඩරට ගිවිසුමට බලපෑ හේතු

1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට හේතු වූයේ නායක්‌කර් වංශිකයන්ගේ දූෂිත පාලනයයි.

1815 ඉංග්‍රීසීන් උඩරටට පා තබන විට ඔල්වරසන් දී පිළිගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රජා පීඩාකාරී පාලනයට නතු වූ උඩුනුවර, යටිනුවර, සබරගමු ප්‍රදේශවාසීන් පමණි.

”උඩරට සිංහල ජනතාව දූෂිතවූ ක්‍රෑර පාලනය නිසා සිංහල කිරුළ දරා සිටිමේ අයිතිය නැතිකරගත් සේ තමන් සැලකූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් රජ පදවියෙන් පහ කිරීමේ කාර්යය සඳහා ඉංග්‍රීසීන්ට තම සහාය දුන්නා විනා උඩරට ස්‌වාධීන රාජධානිය, රාජ්‍යත්වය හෝ පාලන පද්ධතියක්‌ ඉංග්‍රීසීන්ගෙන් ලබා ගැනීමට සිතා ඔවුන් හා එක්‌ නොවූහ.” (සිංහල විශ්වකෝෂය iv කාණ්‌ඩය, 393 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

”උඩරට ජනතාව ඔවුන්ගේ පර පීඩනයන්ගෙන් මුදවා ගැනීම සඳහා ද අවසන් වශයෙන් පරම්පරා තුනක්‌ දේශව්‍යාප්ත ප්‍රජා පීඩනයක්‌ ගෙන ගිය මලබාර් ආධිපත්‍යය වෙනස්‌කරලීම සඳහා ද තමන් යටතේ තබා ඇති බලසම්පන්න යුද ආම්පන්න යෙදීමට උතුමාණන් වහන්සේ තීරණය කර ඇත්තාහ” යි ද කියවේ.

(සිංහල විශ්වකෝෂය iv කාණ්‌ඩය, 393 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

”උඩරට ජනතාව විෂයෙහි නායක්‌කර් වංශිකයන් දැක්‌වූ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ද අමානුෂික විය. රොබට්‌ නොක්‌ස්‌ මහතාගේ ”එදා හෙළදිව” කෘතිය පෙන්නුම් කරන දරුණු දඬුවම් ක්‍රම 1815 වන විට ද සිංහල රාජ්‍ය තුළ විය. එම දරුණු දඬුවම් ක්‍රම ද රාජ්‍ය විරෝධී ගිවිසුම්වලට හේතු වූ කරුණක්‌ විය හැකිය.

උඩරට රාජ්‍යයට එරෙහිව ගිවිසුම අත්සන් කළේ ජාතියේ අයිතීන් දිනා ගැනීමටය. එහෙත් 1815 ගිවිසුම නොබෝ දිනකින් ඉංග්‍රීසීහු කඩ කළහ. හෙන්රි මාෂල් දක්‌වන පරිදි

”දැන් නුඹලා රජු සිහසුනෙන් පහ කර අවසානය. නුඹලාගෙන් අපට කිසිවක්‌ ඕනෑ නැත. එහෙයින් දැන් යන්නට හොඳයි” උඩරට හැරදමා ඉංග්‍රීසීන් මුහුදුකරයට යන්නේ කවදා දැයි විමසූ ඇතැම් සිංහලයෝ පැවසූහ.” යන්නෙන් සිංහල විශ්වකෝෂය සඳහන් කරයි.

උඩරට ජනතාවගේ ඉංග්‍රීසි විරෝධී විමුක්‌ති සටනට බලපෑ හේතු

i. දිගු කලක්‌ දිවි දෙවැනි කොට ආරක්‍ෂා කළ ස්‌වාධීනත්වය නැතිවීම.

ii. ප්‍රජා පීඩක හිංසාවාදී පාලනයක්‌ ඇති වීම.

iii. ජාතික ආගමික චාරිත්‍ර වටා ගොනු වී තිබුණු සමාජ ආර්ථික රටාවන්ට හානි පැමිණිම යන මුඛ්‍ය හේතූන් විමුක්‌ති සටනට ගොඩනැඟුණු සාධකයන්ය.

1815 උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට යටත් වූයේ උඩරට වැසියන්ගේ හෝ රදළයන්ගේ කැමැත්තෙන් නොවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පීඩාකාර පාලනයෙන් මිදීමට ඉංග්‍රීසීන්ගේ සහාය පැතුවා විනා රාජ්‍ය ස්‌වාමීත්වය ලබා දීමට උඩරට වැසියන් කැමැති නොවූහ. නායක්‌කර් වංශිකයන්ගේ ප්‍රජා පීඩාකාරී නීතිරීතිවල බිහිසුණු බව ඇහැළේපොල කුමාරිහාමිට වංගෙඩියේ දා දරුවන් කෙටීමට නියම කිරීමෙන් පැහැදිලි වෙයි.

බුදු සමය හා සිංහල චාරිත්‍රත් කඩ නොකොට පවත්වා ගෙන යැම ඇතුළු ගිවිසුමට උඩරට නායකයන් අත්සන් කළ ද ඉංග්‍රීසීන් විසින් ගිවිසුම කඩ කරනු ලැබීය. බුද්ධාගම හා රදළ ප්‍රධානීන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුපුරුදු පරිදි 1815 ගිsවිසුමෙන් ආරක්‍ෂා කිරීමට පොරොන්දු වුවද අන්‍ය ලබ්ධික ඉංග්‍රීසීන්ට බුදු සමය හා ඒ හා බැඳුණු සංස්‌කෘතික සමාජ රටාව පිළිබඳ අවබෝධයක්‌ නොමැති විය. ගිවිසුමට පෙර එසවූ ඉංග්‍රීසි කොඩිය ඇදදමා පෑගූ වාරියපොළ සුමංගල හිමියන්ගේ වීර ක්‍රියාවලියෙන් විජාතික පාලනය ඇති වීමටත් පෙර ජාතිය සතු ප්‍රතිවිරෝධය සංකේතවත් විය.

ශාසනයේ ආරක්‍ෂාව හා භාරකාරත්වය පිළිබඳව පැවැති රාජ්‍ය උරුමය අන්‍ය ලබ්ධික පාලනයෙන් වෙනස්‌ වීම ද උඩරට ජනතාවගේ රාජ්‍ය විරෝධීභාවයට හේතු විය. බ්‍රිතාන්‍යයන් පන්නා දමා සිංහල රජෙකු පත් කිරීමට වරම් යදිමින් බින්තැන්නේ සහ කතරගම දේවාලවලට පුද පඬුරු යෑවීම ගැන 1816 උඩගබඩා නිලමේ වූ මඩුගල්ලට විරුද්ධව චෝදනා නගා නඩු විභාගයෙන් වරදකරු කොට යාපනයේ සිර අඩස්‌සියේ තබන ලදී. රදළවරුන්ට තිබුණ විශේෂ පිළිගැනීම නැතිවීමද, භික්‍ෂුන් වහන්සේට නිගරු කිරීම ද, පිදිය යුත්තන් පිදීමේ සමාජ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීම ද, ඉංග්‍රීසී විරෝධි ආකල්පය ප්‍රචලිත වීමට හේතු විය. සිංහලයන් පිළිකුල් කළ හරක්‌ මැරීම, විහාර දේපොළ මංකොල්ලකෑම, සොරකම් කිරීම වැනි ප්‍රචලිත නොවූ දුරාචාරයන්ට ඉංග්‍රීසීන් හා ගැති කණ්‌ඩායම්වල සහාය ලැබීම ද විමුක්‌තිකාමී හෘදයස්‌පන්දනය වේගවත් කිරීමට හේතු විය.

අදිකාරම් දිසාව, මඩිහේ ලේකම් යන තනතුරු සියල්ල රදළ වංශික පවුල්වල අයට සීමා වී තිබිණි. තවලම් හිමිකරුවන් වූ මුස්‌ලිම්වරුන් ප්‍රවාහන කටයුතු මුහුදුබඩ ප්‍රදේශයේ සිටම සිදු කළේය. ඒවා පාලනය කළේ සිංහල ප්‍රධානීන් ය. ඔවුන්ට තෑගි භාණ්‌ඩ හා බදු මුදල් ද ලැබිණි. මුස්‌ලිම් සිංහල භේදය ඇති කළ ඉංග්‍රීසීන් මුස්‌ලිම්වරුන්ගේ පක්‍ෂපාතීභාවය ඔවුන් වෙත යොමු කරවා ගනු ලැබීය. ඉංග්‍රිසීන් යටතේ මුස්‌ලිම් පෙරහැරක්‌ පැවැත්වූ අවස්‌ථාවේද ඉංග්‍රීසීන්ගේ වරප්‍රසාද ලැබීය. මෙහිදී බෞද්ධ භික්‍ෂුවකට හිරිහැර කළ අතර ඉංග්‍රීසීන් කෙරෙහි සිංහලයන්ගේ අප්‍රසාද විය. මුස්‌ලිම්වරුන් ගැන සඳහන් කළ ඉංග්‍රීසි පාලකයන් ”ඔවුන් අපේ ම ජන කොටසක්‌ සේ සැලකිය හැකි බැවින් මේ ප්‍රදේශයට යුද හමුදා සේනාංකයක්‌ අවශ්‍ය නැතැයි මටසිතේ” යනුවෙන් වෙල්ලස්‌ස ප්‍රදේශය සම්බන්ධයෙන් මේජර් හාඩ් ආණ්‌ඩුකාරවරයාට ලියා යවා ඇත. වෙල්ලස්‌සේ මඩිහේ ලේකම් ධුරය ඉංග්‍රීසිහු හජ්ජි මරික්‌කාර් නම් මුස්‌ලිම් ජාතිකයාට පැවරිණි. සිංහල රදළ පවුල්වලට අයත් මෙම ධුරය අන්‍ය ආගම් ලබ්ධිකයකුට පැවරීම නිසා ඌවේ ජනතාව වඩාත් කුපිත වූහ.

උඩරට පාලන ක්‍රමය වෙනස්‌ කළ නොහැකි ලෙස රාජාණ්‌ඩුවට හා සම්බන්ධ වී තිබිණි. නිතර දෙවේලේ දකින රජෙකුට සිංහලයන් පුරුදු වී සිටියේය. කිසිදින නොදකින රාජ්‍යත්වයක්‌ අපේක්‍ෂා නොකළේය. ඉංග්‍රිසීන් උඩරට පදිංචිවීම ද අපේක්‍ෂා නොකළේය. ගිවිසුමේ 04 වැනි වගන්තියෙන් ප්‍රධානීන්ගේ වරප්‍රසාද හා බලතල 12 වැනි වගන්තියෙන් ඛණ්‌ඩනය වන ආකාරයක්‌ දිස්‌විය.

”බුද්ධ ශාසනය හා දේවාලගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑය යන එහි කටයුතු ද සංඝයා ද විහාරස්‌ථාන ද දේවාල ද පවත්වන්ඩ ඕනෑය” යනුවෙන් සඳහන් ගිවිසුමේ 05 වගන්තිය ඛණ්‌ඩනය කළේය. ඉංග්‍රීසීහු මහනුවර සෙමනේරියක්‌ ඇරඹීමට ක්‍රියා කිරීම එක්‌ නිදසුනකි. ඉවැන්ජලිකන්වාදීහු ක්‍රිස්‌තියානි ආගම උඩරට ව්‍යාප්ත කිරීමට ද ක්‍රියා කළේය.

ගිවිසුම අත්සන් කළ ද දේශයේ අනන්‍යතාවය උල්ලංඝනය වීම පිළිබඳ ජනතාවගේත්, භික්‍ෂුන් වහන්සේගේත් නොසතුට පළ වූ බව වාර්තා වේ.



සෙංකඩගල සිට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක්‌ බලා ගමන් කළ යතිවරයන් වහන්සේ නමකගේ පහත සඳහන් ප්‍රකාශයෙන් සිංහලයන්ගේ අසරණබව කොතෙක්‌ දැයි පැහැදිලි වේ.

”අනේ කූඹියනේ

තොපටත් රජෙක්‌ ඉන්නේ

අපට නෑ ඉන්නේ

ඒ නිසාවෙන් අප තැවෙන්නේ

රජෙක්‌ ලැබුනෝතින්

කොඩි සේසත් නගන්නේ

බෙර හසුරුවන්නේ

සාදු නාදෙන් ගිඟුම් දෙන්නේ

ජාතික ස්‌වාධීනත්වය පිළිබඳ නිජබිමක්‌ වූ ඌවේ සටන් ව්‍යාපාරය ඉහත කී කරුණ නිසා සමාරම්භ විය.

වෙල්ලස්‌සට ලැබුණු රාජ්‍ය සම්මානය

ඌව වෙල්ලස්‌සේ අනභිභවනීය සටන්කාමීහු සිටියහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී කරන ලද යුද්ධාභ්‍යාස පෙළපාලියකදී ලංකාවේ අග්‍රේෂ්වර ධනුර්ධර්යා වශයෙන් ජය ගත්තේ වෙල්ලස්‌සේ වැසියෙකු බව එක්‌ ජනකතාවක සඳහන් වේ. ඔහුගෙන් පැවතෙන්නෝ අදත් දුනුකාර මුදියන්සේලා නමින් වෙල්ලස්‌සේ ගම් කීපයක පදිංචිව සිටිති.

(රසවාහිනිය, 1917 ii මාර්තු 09 කලාපය, 11 පිටුව)

විමුක්‌ති අරගලයේ ඇරඹුම

උඩරට රජ කළ නායක්‌කර් වංශයෙන් පැවැත එන අයෙකු කියන සැකකටයුතු අමුත්තෙකු වෙල්ලස්‌සට ආසන්න ඌවේ ගිනිකොන පෙදෙසේ දී උඩරට සංඝයා වහන්සේ කීපනමක්‌ ද සමඟ දක්‌නට ලැබුණු බව ඌවේ දිසාපති පදවිය දැරූ විල්සන්ට දැන ගන්නට ලැබිණි. විල්සන් විසින් එම තොරතුරු උඩරට පෙදෙසේ පරිපාලන භාරව සිටි ප්‍රධානියා වූ ජෝන් ඩොයිලි වෙත ක්‍රි. ව. 1817 සැප්තැම්බර් 11 වැනි දින දක්‌වන ලදී. ඌවේ කැරැල්ල සම්බන්ධයෙන් ලැබුණ පළමුවන තොරතුර මෙය විය.

(ඌව වංශකථා II, 215 පිටුව)

මේ අනුව අමුත්තා අල්ලා ගැනීමේ කාර්ය හ-ජි මුහන්දිරම්ට පැවරුණු අතර ඒ අතර අමුත්තා කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට ඊතල රැගත් වැද්දන්ගෙන් යුත් හමුදාවක්‌ සමඟ ඌවට ඇතුළු වී වෙල්ලස්‌ස හා බින්තැන්න දෙසට ගිය බව ආරංචි වූ හ-ජි මුහන්දිරම් හා මුස්‌ලිම්වරු කීපදෙනෙකුගෙන්යුත් හමුදාවක්‌ ඔහු සමඟ ලුහුබැඳ ගියබවත් වෙල්ලස්‌සේ පින්නවැල්ලේදී ආයුධ රැගත් පිරිසක්‌ විසින් හතරදෙනකු අල්ලා ගත් බවත් ඌව වංශකථාව පෙන්වා දෙයි. එසේ වුවද බූටෑවේ රටේ රාළට හ-ජි අල්ලා ගන්නට හැකි විය. හ-ජි දෙයියෝ නමින් හැඳින විල්බාවේ හෙවත් දොරේසාමි නමැති සිහසුනට උරුම කී අය කරා යෑවීම නිසා විල්සන් කලබලයට පත් විය.

මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන්

මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන් උඩරට රාජ්‍යයට අයත් ඌව ප්‍රදේශය මහනුවර රාජ්‍ය සමඟ දැඩි සබඳතා පැවැත්වීමට භෞතික පරිසරයෙන් බාධා ගෙන දුන්නද උඩරට රාජ්‍ය නායකයන් පැමිණ නවාතැන් ගත් ස්‌ථානය වූ වර්තමාන කැප්පෙටිපොල ගවරම්මානයේ පිහිටි ප්‍රාදේශීය රාජ්‍ය මධ්‍යස්‌ථානයේ පදිංචියට පැමිණියේය. විල්සන් බංගලාව නමින් පසු කළ ප්‍රචලිත විය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසුව මෙකී මධ්‍යස්‌ථානය ඌවේ දිසාපති හැටියට පත්ව ආ විල්සන් නමැති අයගේ බල මධ්‍යස්‌ථානය විය. කැප්පෙටිපොළ බලකොටුව වර්තමානයේදී ද පවතින අතර අසුන් රැඳවූද, සේනාව සංවිධානය කළා වූද, මධ්‍යස්‌ථානය ලෙස මෙම බලකොටුව වැදගත් විය. ගවරම්මාන විල්සන් බංගලාවේ සිටි විල්සන් කැප්පෙටිපොල කොටුවේ සේනා සංවිධානයේ සිටි ඉංග්‍රිසීන්ගේ අශ්ව සේනාව කැටුව කෙටේරවෙලට පැමිණි බව සඳහන් වේ. ඔක්‌තෝබර් 14 දින වෙල්ලස්‌ස බලා පිටත් වූවේ හ-ජි බේරා ගැනීම සඳහා ය. පින්නවැල්ලට එන විට ඔහුට මුස්‌ලිම්වරු කීපදෙනෙකු පමණක්‌ දක්‌නට ලැබිණි. විල්බාවේ සමග සෙසු පිරිස්‌ ගෙවල් හැරදමා ගොස්‌ තිබිණි. හිරබාරයට ගත් හ-ජිද බින්තැන්නට ගෙන ගිය බව විල්සන්ට දැන ගන්න ලැබිණි.

මල්හෑවගමට අයත් මීගහපිටියේ රටේ රාල ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩුණු දේශප්‍රේමී නායකයෙකි. මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන් කොටේරවෙලට එන බව දැන ගත් මීගහපිටියේ රටේ රාල පිරිස කැටුව පැමිණ ඊ සැරයක්‌ යෑවූ බව ද එමගින් ඔහු ජීවිතක්‍ෂයට පත් වූ බව ද සඳහන් වේ.

(ඩී. පී. වික්‍රමසිංහ මහතා, රසවාහිනිය. 1967 මාර්තු ii කාණ්‌ඩය, 9 කලාපය 12 පිටුව)

බූටෑවේ රටේ රාළ

බූටෑවේ රටේ රාළ මේ වන විට විමුක්‌ති අරගලය මෙහෙය වූ ප්‍රබල නායකයකු විය. බූටෑවේ රටේ රාළගේ නම ඇසූ පමණින් ඌවේ සිංහලයන් යුද පෙරමුණට ආ බව කියවේ. 1818 අප්‍රේල් 18 ඉංග්‍රීසි හමුදාවේ සිටි මැලේ භට පිරිසක්‌ සිංහලයන්ට පක්‍ෂපාතී කර ගැනීමට පවා උත්සාහ ගත්තේය. එය සිංහලයන්ගේ උගුලක්‌ බව රොබට්‌ බ්‍රවුන්රිග්ගේ මතයයි. පස්‌සර ටිකිරි මල්ලියාගේ සාක්‍ෂියේදී බූටෑවේ රටේ රාළගේ නම කීප වාරයක්‌ සඳහන් විය. රාජ ප්‍රතිරූපකයා ඉතාමත් ළඟින් කටයුතු කරමින් ඌවේ කැරැල්ල ඇවිලීමට ක්‍රියා කළේය. බූටෑවේ රටේ රාළගේ නිවසට විල්සන් යන විට ඔහුට දක්‌නට ලැබුණේ ඊතල රැගත් දෙසීයක්‌ රැකවල්ලා සිටි බවයි.

”විල්සන් විසින් ඔවුන් සිය පක්‍ෂයට හරවා ගන්න ප්‍රයත්න දැරූ නමුත් බූටෑවේ රටේ රාළගේ පිළිතුර වූයේ විල්සන් සමඟ මිතුරෙකුගේ මට්‌ටමින් සාකච්ඡා කිරීමට කිසිසේත්ම නැති බවත් සතුරෙකු වශයෙන් මුහුණ දීමට කිසිම බියක්‌ නැති බවත් ය. ඒ අනුව විල්සන්ගේ පිරිස විසින් ඔවුන්ට පහර දීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. එතැනින් ඉදිරියට ගිය විල්සන් 16 දින කොටේරවෙලට ළඟා වෙද්දී එහිද දුණු ඊතල රැගත් හයසීයක හත්සීයක පිරිසක්‌ රැස්‌ව සිටි බව දක්‌නට ලැබිණි. එතැනදී ද ඔහුගේ සාම සාකච්ඡා අසාර්ථක විය. ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පැන නැඟී ඇති මෙම විරුද්ධත්වය සුළුපටු එකක්‌ නොවන බවත්, එය මැඬලීමට තමා සතු බලය සහ ශක්‌තිය ප්‍රමාණවත් නොවන බවත් අවබෝධ කොටගත් ඔහු පොල්වත්ත සහ තල්දෙන හරහා වූ වෙනත් මාර්ගයකින් බදුල්ල බලා ආපසු යන්නට පිටත් විය. අතරමඟ සැඟවී සිටි කණ්‌ඩායම් ඔවුන්ට අවමන් කර කෑ ගැසුවා විනා කිසිම හිරිහැරයක්‌ කළේ නැත. එහෙත් ඊතළ වත්ත දේවාලය අසලදී මුහුණදීමට සිදුවූ තත්ත්වය ඉතාම ශෝචනීය විය. දේවාල අසළ ලැඟුම්ගත් විල්සන් ගේ පිරිස ගිමන් හරිමින් සිටියදී කීපදෙනකු සමඟ විල්සන් අසල වූ ඇළට ගොස්‌ දිය නෑමට සුදානම් වෙද්දී එතනට පැමිණි වැද්දන් කීපදෙනකු ඔහු සමඟ සාකච්ඡාවට කැමැතිබව පවසා ඔහු තනිකොට ස්‌වල්ප දුරක්‌ රැගෙන ගොස්‌ දුනු ඊතල වැස්‌සක්‌ මෙන් ඔහු වෙත එවා ඔහු මරා දමන ලදී. ඒ බව දැනගත් ඔහුගේ පිරිස එතැනට එන විට ඔහුගේ මළකඳවත් නොවීය.

(ආචාර්ය මාලනී ඈඳගම, ඌව වංශකථාව I 215 පිටුව)

මේ අනුව විල්සන්ගේ ඝාතනය ගැන මත දෙකක්‌ ඇති බව පැහැදිලිය.

”කැරැල්ල අසාර්ථක වන විට වැදි රටේ මාරගල කන්දේ ගල්ලෙනක සැඟවී සිටියදී බූටෑවේ රටේ රාළ අල්ලා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ. එතුමා සැඟවී සිටි තැනට මග පෙන්නුවේ කොහුකුඹුරේ රටේ රාළගේ පුත්‍රයා යයි කියනු ලැබේ. 1818 ඔක්‌තෝබර් 20 දින බිබිලේ කොටබෝවේදී අධිරාජ්‍යවාදීහු මේ ඌවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ දිවි තොර කළහ

(ඌව වංශ කථාව ii, 361 පිටුව)

වීර කැප්පෙටිපොල

ඇහැළේපොල නිළමේ ආණ්‌ඩුකරුගේ සිත් දිනා ගැනිම සඳහා කැරැල්ල මැඬ පැවැත්වීමට සිතීය. කැරැල්ල මැඬපවත්වා ඉංග්‍රීසීන් හා ගිවිසුමක්‌ මත රජකම ලබා ගන්නටද උත්සුක වී ඒ බව කැප්පෙටිපොලට ඒත්තු ගැන්වීය. ඉංග්‍රීසීන්ගේ නියෝජිතයකු ලෙසින් 1914 ඔක්‌තෝම්බර් 22 දින කැප්පෙටිපොල වෙල්ලස්‌සට ගියේ එහි කැරැල්ල මැඬ පැවැත්වීමටයි.

විල්සන්ගෙන් හිස්‌ වූ බදුලු දිසාපති පදවියට සෝවර්ස්‌ පත් කෙරුණි. වෙල්ලස්‌ස දිසාව වූ කොබ්බෑකඩුව ද ඌව දිසාව වූ කැප්පෙටිපොළ ද කලබල මැඬලීමටට ඒ ඒ දිසාවවලට යෑවීය. වයස්‌ගතව සිටි මිල්ලෑවට ඒ කාර්ය කිරීමට අපහසු වූයෙන් වෙල්ලස්‌ස දිසාවන්ද කැප්පෙටිපොලට පැවරිණ.

”ඉංග්‍රීසීන් සමඟ ඌවට ගිය කැප්පෙටිපොල අලුපොතදී තම පිරිසෙන් වෙන්ව අසු මෙහෙයවා ඉදිරියට ගොස්‌ ඇත. එහිදී කැරලිකරුවන් පිරිසක්‌ විසින් ඔහු වටකර ගනු ලැබූ අතර තමන් පත්ව ඇති අනතුරින් මිදීමට සූර්ය දේවාරාජයා බඳු රජෙකු දැන් පහළව ඇති බවත් එම රජු සමඟ එක්‌වී තමන්ට සහයෝගය දෙන ලෙසත්, නොඑසේ නම් ඔහුගේ හිස රජතුමා වෙත ගෙන යැමට තමන් නොපැකිලෙන බවත් එම පිරිසේ නායකයා වූ තට්‌ටඹ කෝරාළ කැප්පෙටිපොල නිලමෙ අමතා කීවේය. මෙහිදී සටන්කරුවන් සමඟ එක්‌ වන්නට තීරණය කළ කැප්පෙටිපොල තමන් සමඟ පැමිණ භට හමුදාව ඔවුන්ගේ ආයුධත් සමඟ පෙරළා යෑවීමට තරම් උතුම් ගුණ වලින් යුක්‌ත විය.

එමෙන්ම උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී ගලගම හා ගලගොඩ යන දිසාවේවරුන් හැරුණු විට මොනරවිල නමින් සිංහල අක්‌ෂරයෙන් අත්සන් කළේ කැප්පෙටිපොල නිළමේ පමණි. එමගින්ද දේශමාමක ස්‌වභාව ඉස්‌මතු විය.

කොහුකුඹුරේ රටේරාළ සිය සෙනඟ පිරිවරා කැප්පෙටිපොල හමුවී පහත සඳහන් කවි දෙපදය පැවැසීය.

පිප්පෙන විදේසික බලමුළු දැකීමට

හැප්පෙනවාද මේ රට උරුමයි අපට

අපරාධීනත්වය අගය කළ කැප්පෙටිපොල අතින් කවි දෙපදයක්‌ මෙසේ කියවිණි.

ලොප්කර දමන තුර සුදුරුදු බල නිවට

කැප්පෙටිපොල මමයි නොබියව යමු පෙරට

”තට්‌ටඹ කෝරාළ යනු කොහුකුඹුරේ රටේ රාළ වියයුතු බව ඉතිහාසඥයන්ගේ මතය වේ.”

(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර මනතුංග මහතා, වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ, 08 පිටුව)

”තොපේ තුවක්‌කු වලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තවක්‌කු තොපේ ආණ්‌ඩුකාරයාට භාරදී ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්.”

(දිවයින බදාදා අතිරේකය, නොවැම්බර් 25, පිටුව 03, මහදිසාවේ බණ්‌ඩාර ඇටිපොල)

”....... මේ කැරැල්ල ඌවේ දිසාවගේ එක්‌ වීම නිසා වඩාත් ශක්‌තිමත් විය. පසුව මට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව මේ මුළු කුමන්ත්‍රණයේම ආරම්භකයා හා සංවිධායකයා මේ දිසාපතිවරයා බව මට අවබෝධ විය.” 1818 පෙබරවාරි 23 වැනිදා ලංකාණ්‌ඩුකාර බ්‍රවුන්රිග් විසින් ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්‌ඩුකාරයා වෙත යවන ලද ලිපියක සඳහන් වේ. කැප්පෙටිපොල අදිකාරම රාජ ෙද්‍රdaහියකු මෙන් සිරභාරයට ගන්නා ලෙස 1818 මාර්තු 19 වැනිදා රාජාඥවක්‌ නිකුත් කරන ලදී. එම ආඥ පත්‍රය අනුව කැප්පෙටිපොල අල්වා දෙන කෙනෙකුට පගෝදි 2000 ක්‌ තෑගි දෙන බවද ප්‍රකාශිත විය. විවිධ හේතූන් නිසා ඔක්‌තෝබර් මාසය තරම් වන විට සිංහලයන්ගේ සටන සම්පූර්ණයෙන්ම වාගේ පිරිහෙන්නට වූයෙන් කැප්පෙටිපොල ආදී බොහෝ කැරලි නායකයෝ අනුරාධපුර පෙදෙසට පලා ගියහ. තම අනුගාමිකයන් කිහිප දෙනෙකුත් සමඟ අනුරාධපුරයේ පුල්ලයන්කුලම් අසල පරවහගම නම් ගමේ වලව්වක සැඟවී සිටි කැප්පෙටිපොල ලෙෆ්ටිනන්ට්‌ ඕනල් නම් යුද්ධ නිලධාරියා විසින් සිරභාරයට ගන්නා ලදී. එම නිලධාරියා වලව්වට ඇතුළුවන විටම කැප්පෙටිපොල ”මම තමයි කැප්පෙටිපොල” යි දෙවරක්‌ හඬ නඟා කියා ඔහුගේ අතට අතදී ආචාර කළ බව කියනු ලැබේ. සිරභාරයට ගනිද්දී කැප්පෙටිපොල සිටියේ අසනීපයෙනි. ඔහු සමඟ සිටි සගයෝ පෑල දොරින් පැන ගොස්‌ සිටියෝය. මෙසේ අල්වා ගත් කැප්පෙටිපොල මහනුවරට ගෙනවිත් 1818 නොවැම්බර් 14 වැනිදා යුද්ධ නීතිය යටතේ ඔහුට විරුද්ධව නඩු පවරන ලදී. කැප්පෙටිපොලට විරුද්ධව නඟා තිබුණු චෝදනා සියල්ල අධිකරණය ඉදිරියේ ඔප්පු වූයෙන් උඩරට නීතිය අනුව රාජාෙද්‍රdaහියකුට දෙන ඉහළම දඬුවම වූ හිස ගසා මරා දැමීමට නියම විය. ඒ අනුව දඬුවම පැමිණ වීම 1818 නොවැම්බර් 26 වැනිදා බෝගම්බර වැව අසලදී සිදුකරන ලදී. තමාට මරණ දඬුවම ලැබෙන්නට ස්‌වල්ප වේලාවකට කලින් ආරක්‍ෂක නිලධාරීන් කැටුව දළදා මැදුර වෙත ගිය කැප්පෙටිපොල අදිකාරම්තුමා තමා ඇඳසිටි තුප්පොට්‌ටිය ගලවා දළ¹ වහන්සේට පූජාකොට වැඳ වධක ස්‌ථානය වෙත ගොස්‌ නිතරම හිනේ සඟවාගෙන තිබුණු පුස්‌කොළයේ ලියන ලද කුඩා ”ධම්ම පදය” ගෙන මඳක්‌ කියවා බලා තම හිස කැපීමට සැරසී සිටි ගහලයා දෙස බලා ”බොල එක පහරින්ම මගේ බෙල්ල කපවයි කියා” ”ඉතිපිසෝ අරහං” පාඨය කියන්නට පටන් ගත් බවත් වධකයාගේ කඩු හරින් කැපී වැටෙන විට අරහං යන ශබ්දය නිකුත් වූ බවත් කියෑවේ. මෙසේ මේ සිංහලයාගේ ජීවිතය අවසන් විය.

(සිංහල විශ්ව කෝෂය, 7 කාණ්‌ඩය, පළමුවන කලාපය, 159 පිට, ආර්. එච්. එම්. පියසේන මහතා)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර මනතුංග මැතිතුමන් විසින් දැඩි පර්යේෂණයක්‌ කොට ලියන ලද ”වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ” නමැති කෘතිය ආශ්‍රිතව කැප්පෙටිපොල නිලමේ විසින් ලබාදුන් අසහාය විමුක්‌තිකාමී දායකත්වයද මැනවින් සඳහන් වේ.

අවශේෂ විමුක්‌තිකාමීහු

මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන් විසින් දේශ විමුක්‌ති අරගලයට උරදුන් විමුක්‌තිකාමීන් ගැන සඳහන් කොට ඇත.

කැරැල්ල ගැන විස්‌තරාත්මක තොරතුරු ලියා ඇති තත් කාලීන බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස 1816-1820 වකවානුවේ දිවයිනේ සිටි ජෝන් ඩේව් මහතා මේ කැරැල්ල නිසා මරණයට පත් ස්‌වදේශිකයන්ගේ සංඛ්‍යාව දස දහසක්‌ පමණ වෙතැයි AN Account of the intrerior of
Ceylon its inhabitants of Ceylon 1821 නමැති ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.

අකරුකඩුවේ මොහොට්‌ටාල, ඌව ඔය පළාත අත්තනායක මොහොට්‌ටාල, අන්ගෙලිකුඹුරේ නිලමේ (බින්තැන්න), අළුගොඩ පිහනරාළ (ඌව ඔය පළාත), අලමුල්ලේ මහබැත්මෙරාළ (ඌව වෙල්ලස්‌ස), අළුකල්ඕවිට රටේරාළ, (බුත්තල), අලුත්වෙල මහදුරයා (බදුල්ල), අළුපොත තලවත්තේ ගම්මහේ, ඉකිරියම් පොළ මිටිගම්මහේ, (වෙල්ලස්‌ස), ඉඩමේගම ගන්ඇතිරාළ, (යටිකුඹල්වෙල) ඉඩමේගමරාළ, (යටිකිඳ), ඉඹුල්හෙලයාව සට්‌ටම්බි, යනුවෙන් හඳුන්වන ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ දෙදෙනා, ඉනාවේ බුබුළුගෙදර අප්පුරාළ, වෙල්ලස්‌ස ඊතනවත්තේ උන්නාන්සේ ආදී වීරවරයන් දේශය ගලවාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කළ දේශවිමුක්‌තිකාමීන්ය. ඊතලවත්තේ දේවාලේ කපුරාළ, උඩුගම්ගොඩ ආරච්චි (බුත්තල), උඩුකිඳ බද්දෙරාළ, උඩුකුඹල්වෙල කළුවා, කැටකැලේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මොහොට්‌ටාල දෙදෙනා, උඩුකිඳ කැටගොඩ මුහන්දිරම් යන අය විමුක්‌ති සටන වෙනුවෙන් දිවි පිදූහ. කැටවින්න දිසාවේ මොහොට්‌ටාල (ඌවවෙල්ලස්‌ස) යන දේශීය වීරවරුද, ලංකාවේ අනන්‍යතාව සඳහා ජීවිත පූජා කළහ. ඌව වෙල්ලස්‌සේ සිටි කිරිගල්පොත්තේ පුංචිරාළ, බදුල්ලේ කිරි නයිදා, පරණගම කිරි නයිදා, මලිත්තේ කිරිපරමා, ඌවේ කීරි බණ්‌ඩා, ඔය පළාතේ කිරියගොල්ලේ මුහම්දිරම්, කුඩාදුරගේ මද්දුමයා, කුඩාබදුලුගම්මන රටේරාළ (බිබිලෙ) කුමාරපට්‌ටියේ සට්‌ටම්බි (ඌවඋඩුකිඳ) කුඹුකැලේ ගිල්පා (බදුල්ල) කුරුගම කෝරාළ (වැල්ලවාය) කුරුගමරාළ (ඌව) කුරුඳුකුඹුරේ දෙවන මොහොට්‌ටාල යනුවෙන් හඳුන්වන දෙවන, තෙවන දෙදෙනා කුලන්හේනා රටේරාළ (වැදිරට) යන අභීත රණකාමීහු ඉංග්‍රීසි සේනාවන් හමුවේ දිවි පිදූහ. කෙහෙල්වත්තේ බණ්‌ඩප්පු හා කෙහෙල්ලොටවෙල බණ්‌ඩා, කොටබෝව මහහරුවේ මොහොට්‌ටාල යන වීරවරයෝ ජාතිය වෙනුවෙන් දිවි දුන්හ. කාට්‌ටල් බද්දෙරාළ (කන්දපල්ල කොරළේ) මැදිකිඳ කොන්තෙහෙල මුහන්දිරම්ද, ඌව කන්දෙපල්ලේ කොස්‌ගම මොහොට්‌ටාල, ඌවේ ගණිතාද, දිවි පිදුවේ විමුක්‌ති අරගලයේදීය. ගන්දෙනියේ මොහොට්‌ටාල, මැදිකිඳගබඩාගමරාළ (ඌව) ගලහිටියාවේ කෝරාළ, උඩුකිඳ ගල්කඩේ මුහන්දිරම්, (වෙල්ලස්‌ස) යටිකිඳ ගල්පොත්තාවේ මොහොට්‌ටාල, ඌවේ ගිනිතලාවේ සියාතු සහ පුත්‍රයා ඌවේ ගොඩගම මුදියන්සේ, ඌව ඔය පළාතේ ගොඩියගම මුදියන්සේ, ගොඩේගෙදර හිටපු අදිකාරම සහ ඔහුගේ සොහොයුරා ගොඩේගෙදර මෙහොට්‌ටාල, තඹානේ උන්නාන්සේ කැරැල්ලේදී දිවිකැප කළ වීරවරයන්ය.

1817-18 උඩරට මහකැරැල්ලට සහභාගි වූ ජාතික වීරවරයන්ගේ නාමාවලිය නමැති කෘතියේ බණ්‌ඩාර මනතුංග වියතාණන්ගේ ගවේශනයට උක්‌ත වීරවරයන්ගේ තතු මතුවී ඇත. තලකුඹුරේ මුදියන්සේ, තලගුනේ වන්නකු නිලමේ, තල්දෙන මොහොට්‌ටාල හා ඔහුගේ බාල සහෝදරයා යන අයද, දන්ගමුවේ මොහොට්‌ටාල දඹවින්නේ මොහොට්‌ටාල හා දරගල සට්‌ටමිබි, යන දෙදෙනාද උඩුකිඳින් මතුවූ විමුක්‌තිකාමීන්ය. දොaවේ මැදිකිඳ මුහන්දිරම් මෙන්ම යටිකිඳ දෙහිගොල්ලේ රටේ රාළද, පස්‌සර දෙහිකිඳවෙල රටේ රාළ මෙන්ම නාවල මොහොට්‌ටාල සහ නෙලුදණ්‌ඩේ මොහොට්‌ටාල, මැදිකිඳින් බිහිවූ දේශ විමුක්‌තිකාමීන්ය. වැල්ලවායෙන් බිහිවූ පොල්ගහවෙල කෝරාළ හා පොල්ගහගෙදර පියෙනරාළද, බදුල්ලේ බද්දේකුඹුරේ විදානේද විමුක්‌ති අරගලයට දායක වූහ.

පහත සඳහන් වීරවරයෝද අධිරාජ්‍ය විරෝධි සටනට උරදී මිය ගියහ. මඩුගස්‌තලාවේ බස්‌නායක රාළ, වියළුව මහන්තේ මොහොට්‌ටාල, වෙල්ලස්‌සේ බදුල්ලගම්මන රටේරාළ, වියලුවේ මාලියද්දේ මැණික්‌රාළ, වියලුවේ මාලියද්දේ මොහොට්‌ටාල, වෙල්ලස්‌සේ මැදගම රටේ රාළ, බූටෑවේ රටේ රාළගේ පියා, මැදිකිඳ මැදපේරුවේ රටේ රාළ, වෙල්ලස්‌සේ මීගහඅරාවේ මොහොට්‌ටාල, බුත්තල මීදෙණියේ මුදියන්සේ, ඌවේ මීවතුරේ හිටපු ලේකම් උඩුකිඳ මුලතවෙල පිහනරාළ දේශය ගලවා ගැනීම සඳහා ඉංග්‍රීසීන් සමඟ සටන් වැදී මිය ගියහ. උඩුකිඳ මුල්ගම, ඌවේ යක්‌කුරාවේරාළ, යටිකිඳ ඉඩමේරාළ, වැල්ලවායේ යාපා අප්පුහාමි, ඌවේ රකුම්ගහවෙල මුදියන්සේ මෙන්ම රත්නායක ගෙදර පුංචිරාළද, කන්දපල්ලේ කෝරළේ රලු වෑවල, කොටල් බද්දේරාළ, රලු වෑවල කෝරාළ, මැදිකිඳ රහුබැද්දේ විදානේ, රහුපල අලුත්පන්නේ මොහොට්‌ටාල සහ පුත්‍රයා එවැනි වීර පුත්‍රයන් ලෙසින් ඉතිහාස කතාවේ ස්‌වර්ණාක්‌ෂර සනිටුහන් ලෙසින් දැක්‌වීමට පුළුවන.

ඉංග්‍රීසි සේනාවේ අඛණ්‌ඩ ප්‍රහාරය එල්ලවන විට එයට ප්‍රතිචාර දැක්‌වූ ඌව නිජබිම කොටගත් පුද්ගලයන් අතර කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වක්‌කුඹුරේ සට්‌ටම්බි දෙපළද, සොරණාතොට වත්තෙකැලේ මුහන්දිරම් හා මොහොට්‌ටාලද වෙල් අරාවේ රටේ රාළද, වෙල්ලිඅරාවේ කුඩා බැත්මෙරාළද, වේවැල්හින්නේ රටේ රාළද, උඩුකිඳ හදිල්ලේ පිහනරාලද, හමනාවේ රටේරාළද, කොටබෝවේ රටේරාළද, හල්පේ මොහොට්‌ටාලද හාපත්ගමුවේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මොහොට්‌ටාලවරුන්ද, හික්‌ගහලන්දේ විදානේ හා හිඟුරුකඩුවේ හිටපු බැත්මේ රාළද, හිඳගොඩ මොහොට්‌ටාලද, මහපිටියේ බෝගහගෙදර රාළ ද ජාතිය හා දේශය වෙනුවෙන් දිවිහරණ කළ අයවෙති.

උක්‌ත ජාතික වීරවරයන් ගැනද ”වීරවරයන්ගේ නාමාවලිය” නමැති කෘතියේදී බණ්‌ඩාර මනතුංග පඬිවරයාණන් පෙන්වා දෙයි. උඩුකිඳ දෙකිඳ ආරච්චි, අලුතැල්ගල කලුනයිදේ, තුප්පිටියේ බඩල් විදානේ යන අයද මේ වන විට ඌව පළාතේ සමාජ සම්භාවනාවට පත් සිංහල නායකයන් වූ අතර මහනුවර රජවාසල හා සබඳතා ගොඩනැඟුවෝ විය. ජාතියේ පරාධීනභාවයට එරෙහිවූ මෙම වීරවරයන්ද ඉංග්‍රීසීන්ගේ වධබන්ධනයට නතුව ජීවිත හරණය කළ බව දැක්‌වීමට පුළුවන.

1818 කැරැල්ල ආරම්භයේ සිට එහි අවසානය දක්‌වාම එඩිතරවත්ව නිර්භීතවත්ව සටන් කළ කිවුලේගෙදර මොහොට්‌ටාල දිසාපතිවරයාට සහය දැක්‌වූ ප්‍රාදේශීය කැරළි නායකයන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වේ. හාපත්ගමුවේ මොහොට්‌ටාල, ආ¹වෙල මොහොට්‌ටාල, අඹන්වැල්ලේ මොහොට්‌ටාල කොටඹේරාළ ආදීන්ය. මීට අමතරව හිඟුරේවෙල මොහොට්‌ටාල, රාසිංගොල්ලේ මොහොට්‌ටාල, යටිමාදුරේ මොහොට්‌ටාල, නිට්‌ටඹුගොඩ මොහොට්‌ටාල යනාදීන්ගේ නම්ද ජනප්‍රවාදයේ එයි. (වලපනේ ඉතිහාසය 46, 47 පිටු සිරිසේන දේවප්‍රිය)

ඊතණවත්ත, දම්බරාව, බදුලුවෙල තෙරවරු

ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදීම සඳහා ක්‍රියාකළ තෙරවරු රාශියකි. ඊතණවත්ත, දම්බරාව, බදුලුවෙල නමින් ප්‍රකට ගම්වල තෙරවරු ජාතියේ පරාධීනත්වයට එරෙහිව ක්‍රියා කළහ.

”ඉංග්‍රීසීන් විසින් ව්‍යාජ රජු යෑයි හංවඩු ගැසූ සිංහලේ කැරැල්ලේදී නාම මාත්‍ර නායකයාට උදව්කළ සිංහල භික්‍ෂූන් වහන්සේලා අතරින් කීප නමකි. උන්වහන්සේලා මහියංගනයේත්, බදුල්ලේත්, මොනරාගලත් පාද යාත්‍රාවේ යෙදෙමින් ඉංග්‍රීසීන් පළවා හැරීමේ කටයුත්තෙහිලා සිංහලයන් මෙහෙය වූහ. ඉංග්‍රීසීන් කසාය වස්‌ත්‍රයෙන් මේ උගත් තෙරවරුන්ට තරම් වෙනත් කිසි කෙනෙකුට බියක්‌ නොදැක්‌වූහ. (ඌව වංශකථාව II, 364 පිටුව) යනුවෙන් හැඳින්වූයේ ඉහත කී තෙරවරුන්ය.

හාමාපොල රංකිරි

හාමාපොල දුරයා ඌවේ කැරළි නායකයෙකි. බිබිලේ සිට නිල්ගලට යන මාවතේ පිහිටි හාමාපොලගේ මව හාමාපොල රන්කිරි නමින් පසිඳුවූද, ඉතිහාසයේ යටපත්වූද, අභීත නායිකාවකි. ඉංග්‍රීසිහු ගම් ගිනි තබමින් පෙරට ආහ. සුද්දන් හාමාපොලට පැමිණි විට ගම්මු කැලෑ වැදුනහ. ඇය පැදුරක සැඟවී සිටියාය. ඇය සතුරන්ට අසුවිය. ඉංග්‍රීසින්ට එරෙහි වූ සතුරන් ගැන විමසන විට ඇය පැවසුවේ තමන් දන්නා බවත් කියන්නේ නැති බවත්ය.

”කිපුණු සෙන්පතියා ඇගේ කනක්‌ කැපීමට අණ කළේය. ගලන ලෙයින් සිරුර නැහැවෙන්නට විය. ඇගේ මුවෙන් පරුෂ වචන පිට වන්නට විය. ඇගේ දෙවන කණද කැපී ගියේය. සුද්දන් අමතා පරුෂ වචන කීවා විනා කැරලිකරුවන්ගේ නම් පිටවීමක්‌ ඇගෙන් සිදුවූයේ නැත. අවසානයේ නාසයද කැපිණ. ඈට සිහිය නැතිවිය. සිහිය ලද විගස නැවතත් සුද්සන්ට සාප කළා විනා කිසිඳු පිsළිතුරක්‌ නම් දැනගන්නට නොහැකි විය. ඇගේ වීරත්වය සුද්දන්ගේ මිලේච්ඡත්වයෙන් සුන් නොවීය. ඔවුහු ඇගේ ගෙළ කපා දැමූහ. (ඌව වංශ කථාව II 366 පිටුව)

ඩිංගිරි අප්පු හා බාලප්පු

බදුල්ල වීදිය ගුණේ, දඬුඅරාවේ විසූ ඩිංගිරි අප්පු හා බාලප්පු යන දෙදෙනා ගොවියන් දෙදෙනකු වුවද ඉංග්‍රීසින්ට එරෙහිව අවි පුහුණුව ලදහ. යුද්ධයට සම්බන්ධ නැති බවද ඇඟවූහ. සතුරන් තතු සොයමින් එනබව ආරංචි වූ අතර එකොළොස්‌ දෙනෙකුගෙන් යුක්‌ත ඉංග්‍රිසි හේවායන් බාලප්පුගෙන් බදුල්ලට යන පාර ඇසීය. හෙතෙම කෙටි පාරක්‌ යෑයි දුර්ග මාර්ගයක්‌ පෙන්වා අඹකොලේ කඳුර දක්‌වා එක්‌කරගෙන ගොස්‌ කන්දෙන් කඳුරට පැන ඉංග්‍රීසින්ට එම මග පෙන්වා කන්දක සිට එකොළොස්‌ දෙනා මැරුවේ උපායශීලීවයි.

අඹගොල්ලේරාළ

අඹගොල්ලේ රාළ වී අටුවක සැඟවී සිටින විට ඉංග්‍රීසීන් වටලා බූටෑවේ රටේ රාල මෙහි සිටිදැයි ඇසීය. ඒ ”අය ඉන්න තැනක්‌, ගිය තැනක්‌ මා දන්නවා. නමුත් මගෙන් ඒක දැනගන්න නම් හම්බවෙන්නේ නෑ. මගේ නෑයන් පාවාදීලා නිවට දොaහියෙක්‌ වෙන්න මට බෑ.”

කෝපයට පත් ඉංග්‍රීසීහු ප්‍රථමයෙන් ඔහුට තැලීය. ඒත් පිළිතුරක්‌ ලබා ගත නොහැකිවූ කල අසල බුළු ගසක දෙපයින් එල්ලා ගිනි හුළුවකින් සිරුර දවන්නට විය. එහෙත් කිසිදු පිළිතුරක්‌ දැනගත නොහැකි කළ අඹගොල්ලේ රාළගේ බෙල්ලට තොණ්‌ඩුව දැමූ සුද්දොa එම නිර්භීත සිංහලයා එල්ලා මරා දැමීය. (ඌව වංශ කථාව, දෙවන කාණ්‌ඩය, 365 පිටුව)

අලුත්ගෙදර සුද්දනා

අලුත්ගෙදර සුද්දනා ඌව උඩුකිඳ බෝඹුරුගම ගලහදෙර විසීය. ඔහු වීරවරයෙකි. එය පිහිටියේ වත්මන් ගලහගමය. සුද්දනා දුරයාට ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ඒජන්ත විසින් වෙල්දුරයා නමින් සන්නසක්‌ දුන් බව ඌව වංශකථාව කියයි. මොහු සිංහල හමුදාවට ඉංග්‍රිසි විරෝධීව ජාතිය ගලවා ගැනීමට තොරතුරු ලබාදුන් ජාතික වීරවරයෙකි.

මැක්‌ඩොනල්ඩ්

”මහබදුලු ගමරාළ, කිවුලේගෙදර මොහොට්‌ටාල, බූටෑවේ රටේරාළ ආදීහු ඉංග්‍රීසි විරෝධී සටන මෙහෙයවමින් වෙල්ලස්‌ස වලපනේ ප්‍රදේශවල බලය අල්ලාගෙන කටයුතු කරන්නට වූහ. එහෙයින් වහාම කැරැල්ලේ මූලස්‌ථානය වූ වෙල්ලස්‌සටම පහර දීමට පැමිණි බදුල්ලේ අණදෙන නිලධාරි මැක්‌ඩොනල්ඩ් කැළඹිලාකාරයන් උපන්ගෙහිදීම බියවද්දා අධෛර්යයට පත් කිරීමේ අදහසින් දරුණු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් සරුසාර වෙල්ලස්‌ස තැන්න වටලා එකී සෑම ගමකම ගෙවල් දොරවල් කෙත්වතු සියල්ලක්‌ පුලුස්‌සා කාබාසිනියා කර දමන්න විය. මේ දරුණු ක්‍රියාවලින් ගම්වැසියන් භ්‍රාන්තව වනගතව බලා සිටියදී කැරලිකාර තත්ත්වය මැඩ ප්‍රදේශ සන්සුන් වෙතැයි ඉංග්‍රීසි විරෝධය දසතින්ම නැග එමින් කැරැල්ල ලියලා ගියේය. නොවැම්බර් 01 දින බ්‍රවුන්රිග් ඌව වලපනේ, වෙල්ලස්‌ස, බින්තැන්න කැරලි පවතින ප්‍රදේශ හැටියට සලකා එපෙදෙස්‌වල යුද නීතිය පැනවීය. රාජ්‍යත්වය පවරාගත් දොරේ සාමි අල්ලා දෙතොත් රික්‌ස්‌ ඩොලර් 2000 ක ත්‍යාගයක්‌ද කිවුලේගෙදර මොහොට්‌ටාල හා බූටෑවේ රටේ රාළ වෙනුවෙන් රික්‌ස්‌ ඩොලර් 500 බැගින් දෙන බවද ප්‍රකාශ කරවීය. (සිංහල විශ්ව කෝෂය IV පිටුව 397 මාලනී පී. ගමගේ මහත්මි)

1818 දේශ විමුක්‌ති අරගලයේදී ඉංග්‍රීසින්ගේ පාර්ශ්වයේ සටන් මෙහෙය වූ මැක්‌ඩොනල්ඩ් නමැත්තා මේජර් විල්සන්ගේ මරණින් පසු ඌවේ ජනතාව මහත් පීඩනයට පත් කරමින් ඔවුන්ගේ නිවාස, දේපළ, වතුපිටි, කුඹුරු ආදී සියල්ලක්‌ම විනාශ කරමින් සාහසික ලෙස බිම්පාළු පිළිවෙතක්‌ අනුගමනය කළේය. එමෙන්ම ජීවිත රාශියක්‌ විනාශ කළ අයෙකි. එදා ඌවේ කැරැල්ල මෙහෙය වූ සිංහල කැරැලිකරුවන්ට අමානුෂික ලෙස වද දුන් මැක්‌ඩොනල්ඩ් ඌව පරණගම මූදනාව ප්‍රදේශයේ බලකොටුවක්‌ ඉදිකර එහි සිට සටන් මෙහෙයවීය. ගරාවැටෙමින් නටඹුන්ව ඇති මෙම කොටුව පිහිටි ස්‌ථානයේ වර්තමාන ඌවපරණගම මහ විදුහල ඉදිකර ඇත. එහි මිදුලේ ඇති අති විශාල සියඹලා ගස එවකට සිංහල කැරැලිකරුවන් එල්ලා මැරීමට යොදාගෙන ඇත.

”එදා කැරලිකරුවන් වධ බන්ධනයට ලක්‌ කිරීම සඳහාත් මරණීය දඬුවම් ලැබූ වැරදිකරුවන් එල්ලා මැරීම සඳහාත් මේ යෝධ සියඹලා ගස යොදාගෙන ඇත. එම සියඹලා ගස වසර 200 කට වඩා පැරණිය.

(දිණමිණ 2010 ජුනි මස 12 සෙනසුරාදා, 12 පිට එස්‌. එම්. ෆාරුක්‌)

සටනට සම්බන්ධ ඓතිහාසික ග්‍රාම නාම කීපයක්‌

1818 දේශවිමුක්‌ති අරගලයට ඌව පළාතේ බොහෝ ගම් සම්බන්ධ විය. ඒවා මෙහිදී දැක්‌වීම දුෂ්කර වුවත් ග්‍රාම නාම කීපයක්‌ පමණක්‌ සඳහන් කරමි. ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව වෙල්ලස්‌සේ ජනතාව තාවකාලික ආණ්‌ඩුවක්‌ බිහිකළ ප්‍රදේශයක්‌ විය. ”සිය බල ආණ්‌ඩුව” සියඹලාආණ්‌ඩුව නමින් ප්‍රචලිත වූයේ එලෙසිනි. ඌවේ ගම් දනව්වලට සම්බන්ධ නම් කීපයක්‌ ”කොඩිය” නමින් හැඳින්වේ. ”සතුරු සේනාවන් එන විට සිංහල සේනාවන්ට දැන ගැනීමට කොඩියක්‌ එසවූ බැවින් එවැනි තැන් ”කොඩිය” නමින් හැඳින්විණි. මධ්‍යම පළාතෙන් වෙන්වී හග්ගල සිට කපොල්ලෙන් ඌව පළාතට පැමිණෙත්ම ගවරම්මාන කන්ද පිහිටා ඇත. එම කන්ද මුදුනේද කොඩිය නමින් තැනක්‌ ඇත. ඌව පරණගම මල්වත්තේ ගමට යාබදව පිහිටි බැලුම්ගල කන්ද අඩි 450 ක්‌ උසය. මෙය ඊතල මගින් පණිවිඩ හුවමාරු කරගත් තැනක්‌ බව මහාචාර්ය සන්නස්‌ගල පඩිතුමා සඳහන් කරයි. කැප්පෙටිපොල සිට නුවරඑළිය පෙදෙසට යන විට පිහිටි බැලුම්ගල පිහිටි ගම්මානය ඉංග්‍රීසීන්ගේ සේනාව එනවිට තතු විමසූ ගම්මානයකි. ඇලි සහිත බිමින් බලාගෙන යන අදහස ඇති බලඇල්ල යන්න බල්ඇල්ල නමින් ප්‍රසිද්ධ විය. ඌවේ ගම්බිම් ඉංග්‍රීසීන් වැනසූ අතර එයින් එක්‌ ගමක්‌ පාළුගම නමින් පසිඳු විය.

”ආලා පාළු වුණ

පාළුගම නමින් බිහි වුණ”

යන ජනකවි දෙපදයෙන් පැහැදිළි වේ.

ඉංග්‍රීසි විරෝධි සටන් මෙහෙය වූ සටන් පිටිය ඇටම්පිටිය නමින් ප්‍රචත විය. ඌව යුද ගිනි දැලින් රත්වන ලෙසින් සටන් ඇවිලුණු අදහසින් හෝ යුද බලයෙන් රත් වන්නට අවි සැපයු අදහස නිසාදොa රත්කර + උව = රත්කරව්ව නමින් ප්‍රචලිත වූවා විය හැකියි. බණ්‌ඩාරවෙල බිඳුණුවැවද 1818 සටනේදී ඉංග්‍රීසීන් විසින් බිඳවා හරින ලද වැවකි.

”කම්මානංකඩ බදුල්ල - බණ්‌ඩාරවෙල පාරේ පිහිටා ඇත. බදුලු පුරවරය මුරකළ හේවා පිරිස සිටි තැනලු”

(ඌව වංශ කථාවII පිටු 134 මහාචාර්ය පී. බී. සන්නස්‌ගල මහතා)

බදුලු ප්‍රදේශයේ රිල්පොල ඌව සටනට සම්බන්ධ ගොඩේගෙදර අදිකාරම් සිටි තැනයි. ඔහු සමඟ 18 දෙනකු මුරුසියට ඉංග්‍රිසීන් විසින් පිටුවහල් කළ බව කියෑවේ. හපුතලේ හාල්අටුතැන්න සිංහල සේනාවලට ප්‍රයෝජනය ගැනීමට හාල් පිරවූ ගබඩා තිබූ තැනක්‌ ලෙසින් ජනප්‍රවාදයේ එයි. මේ අනුව ජාතික විමුක්‌ති අරගලයට සම්බන්ධ වූ සාධක රැසක්‌ ග්‍රාම නාමයන්ගෙන්ද ගොඩනැගේ.

විමර්ශනය

වෙල්ලස්‌සේ පැනනැගි පෙරළිය අමනාපයට කැරළි ගැසීමට තරම් කලකිරි සිටි මුළුරටේම ජනතාව විෂයෙහි වෙඩි බෙහෙත් පීප්පයකට විසිවුණු ගිනිකූරක්‌ මෙන් ක්‍රියා කළේ යයි එවක නමුදු ශල්‍ය වෛද්‍යව සිටි හෙන්රි මාෂල් ලංකාව හා එහි පුර වැසියන් ගැන තමා ලිවූ කෘතියෙහි සඳහන් කරය.s

1818 ක්‍රියාත්මක වූයේ කැරැල්ලක්‌ නොව සැබවින්ම දේශ විමුක්‌ති අරගලයකි. එය උතුරුමැද, මධ්‍යම සබරගමු පළාත්වලටද ව්‍යාප්තව පැවතිණි. මේ සඳහා ඌවේ සිටි ජාත්‍යාලයෙන් ඔදවැඩුණු සෙන්පතියෝ සිය ජාතිය වෙනුවෙන් වීරත්වයෙන් දිවි පිදූහ. එහෙත් එවකට පැවති යුද මානසිකත්වය හේතුකොට ගෙන එකල කුඩා දරුවන්ගේ සිත්තුළ ත්‍රාසය, භීතිය වැනි නිශේධාත්මක සිතුවිලි කි¹ බසින්නට ඇත. තරුණයන් සහ වැඩිහිටියන් ඝාතනය කිරීම නිසා සමාජය තුළ දැඩි ව්‍යාකූලතාවක්‌ ඇතිවිය. සමාජ හා ආර්ථික ව්‍යසනය නිසා රජ දරුවන් දවස පැවති ඌව පළාත අදවන විටද ප්‍රතිෂ්ඨාපනය වී නොමැති බව සඳහන් කරනුයේ දැඩි නිර්වේදයකිනි.

දේශ විමුක්‌ති සටනේ වීරවරයන් පිළිබඳව ”ඉහළ ඌවේ අප්‍රකට ජනකවි” නමැති කෘතියේ ජන කවි පෙළක මෙසේ දැක්‌වේ.

පර දෙසුන් ගෙ පාලනේ
එරෙහිවසවි ළමයිනේ
අසිපත මැද පෙරමුණේ
යුදගිනි දැල් දැල්වුනේ

බූටෑවේ රටේ රාළ
කිවුලෙගෙදර මොහොට්‌ටාල
බින්තැන්නේ වෙල් විදානේ
සටනකි පෙරමුණේ රාල

හැඩි දැඩි බව පෙන්නාලා
වීරවිකුම් හඬ පාලා
ඉංගිරිසි බලය බිඳු
ඌවේ රණ හඬ පාලා

මුප්පනෙ රාළද බුත්තල
කොහුකුඹුරේ රටේ රාල
පල්ලෙකිරුමෙ මොහොට්‌ටාල
නිදහස්‌ දිය හල්ලෙ රාල

ගමින් ගමට උවේ දනෝ
අසිපතකට ගෙල දුන්නෝ
සටන් තියපු කැප්පෙටිපොල
නිදහසටයි ගෙල දුන්නෝ

නුවරඑළියේ චන්දජෝති හිමි - 
දිවයින – 2011 සැප්තැම්බර් 14

Sunday, January 3, 2016

ඌවේ චමත්කාරය අතරින් ඇදහැලෙන සොදුරු බෝඹුරු ඇල්ල



ඌව  පළාතේ බදුල්ල දිස්ත්‍රිකයේ නුවරඑළියට මායිම්ව පිහිටි තවත් එක් සුන්දර පරිසරයක් ගැන ඔබ දැනුවත් කිරීමට සිතුවෙමි. වැලිමඩ නගරය පසු කර නුවරඑළිය දෙසට ගමන් කිරීමේදී හග්ගල මල්වත්තට පහලින් දකුණු පසට හැරුණු පසු මෙම මනස්කාන්ත පරිසරයට පිවිසෙන මාර්ගය දකින්නට ලැබේ. එහි කි.මී. 6ක් පමණ වාහනයෙන් පහසුවෙන් ගමන් කල හැකි අතර ඉන්පසු කි.මී. 2ක් පමණ පයින් ගමන් කලයුතුව ඇත.  මේ ගමන තරමක් දුෂ්කර වුවද ඉතා අලංකාර පරිසර පද්ධති දියඇල්ලට යන ගමනේදී ඔබට දැකගත හැකිය. වාහන නවත්වන ස්ථානයෙන් ඔබට අවශ්‍ය ජලය හා ආහාර ලබාගත යුතු අතර දියඇල්ලට දිවෙන මාර්ගයේ ඔබට කිසිදු කඩයක් දක්නට නොලැබේ. එමෙන්ම ඔබ ගෙන යන ආහාර බහාලුම්, ඉටි කවර, ප්ලාස්ටික් මේ සුන්දර පරිසරයට එක් නොකරන්නට වඟ බලාගන්න. එමෙන්ම දියඇල්ල අසල දිය නෑමට යෑම ඉතා අවධානම් වන අතර එසේ කිරීමෙන් අනතුරු සිදුවිය හැකි ප්‍රවණතාවය ඉතා ඉහලය. ඒ නිසා ප්‍රවේසම ගැන නිතරම වග බලාගන්න. ඔබත් විවේකයක් ලද විටෙක බෝඹුරු ඇල්ල නැරඹීමට අමතක නොකරන්න.





























Monday, December 21, 2015

පැහැබර අනාගතයකට නිසැක මඟ - 21 දෙසැම්බර් 2015 ‘රිවිර‘



වෘත්තිය එහෙමත් නැත්නම් රැකියාව අපි කාගේත් ජීවිතයේ ප්‍රධාන කොටසකි. කරන කියන රැකියාවේ තව ඉහළට යන්නට මෙන්ම වඩාත් වාසි සහගත අළුත් රැකියා අවස්ථා උදාවෙනවා නම් අපි කව්රුත් කැමැත්තක් දක්වමු. මේ සඳහා නිමැවුණු කදිම වෙබ් අඩවියකි Linkedin (ලින්ක්ඩ්ඉන්). මෙම වෙබ්අඩවියේ සදාගන්නා වූ ඔබේ ගිණුම ඔබේ ඩිජිටල් ජීව දත්ත පත්‍රය ලෙස හැදින්වුවහොත් නිවැරදිය. බොහෝ දියුණු රටවල මුද්‍රණය කරන ලද ජීව දත්ත පත්‍රයකට වඩා, මෙම වෙබ් අඩවිය පුද්ගලයකුගේ වෘත්තීය ජීව දත්ත පත්‍රයක් ලෙස භාවිතා කරයි. ශ්‍රී ලංකාවේද තරමක් දුරට දියුණු පෞද්ගලික අයතන වල මානව සම්පත් කළමණාකාරීත්වය මෙය කුසලතාවයෙන් දැනුමෙන් පිරුණු නිවැරදි පුද්ගලයන් තම අයතනයේ පුරප්පාඩු සදහා සොයා ගැනීමට එහෙමත් නැත්නම් Head Hunting සදහා දැන් භාවිතයට ගනී. එමෙන්ම ඔබටද මෙය රැකියාවක් සොයාගැනීමට නොහොත් Job Hunting සඳහා භාවිතා කල හැකි කදිම සහ පහසු මෙවලමකි.

ඔබට ඉතා පහසුවෙන් www.linkedin.com වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කර හැකි අතර එහි ඔබේ අධ්‍යාපන හා වෘත්තියේ සියළු සුදුසුකම් ඇතුල් කිරීමට ඉඩකඩ සලසා දී ඇත. එමෙන්ම ඔබට ඇති කුසලතා (Skills) වෙන වෙනම හුවා දැක්වීමේ හැකියාව ඇත. එමෙන්ම ඔබ විසින් සිදු කරන ලද සමාජ සත්කාරයන්, ස්වේච්ඡා සේවක (Volunteer) කොටස ඔස්සේ එකින් එක ඇතුලත් කල හැකිය.

ඔබට ලිවීමේ හැකියාවක් ඇත්නම් සටහන් (Posts) ඔස්සේ ඔබේ ලිපිය අන් අයට දැකගැනීමට හැකිවන ආකාරයට පල කල හැකිය. එමගින් ඔබේ වෘත්තීය දැනුම සහ අත්දැකීම් තුලින් අන්අය දැනුවත් කිරීම සිදුකල හැකි අතර එමගින් ඔබට සමාජ සත්කාරයකටද දායක විය හැකිය. විවිධ ආයතන ප්‍රධානීන්ට ඔබේ කුසලතාවයන් පිළිබඳව ඉතා හොද අවබෝධයක් මෙම වෙබ්අඩවිය තුලින් ලබාගත හැකිය.

මෙහි ඇති තවත් විශේෂ අංගයක් නම් ඔබව ඔබේ සමකාලීනයන්ට මෙන්ම ආයතන ප්‍රධානීන්ට නිර්දේශ (Recommendation) කල හැකි පහසුකමක් සලසාදී තිබීමයි. එමෙන්ම එහිදී ඔවුනට ඔබත් සමඟ ආයතනයේ ලැබූ අත්දැකීම් හා ඔබේ චරිතය පිලිබඳ සහතිකයක් අනෙකුත් වෘත්තිකයන්ට දැකබලා ගැනීමට හැකිවන පරිදි ලියාදැක්විය හැකිය. එය ලිවීමෙන් පසු ඔබට ඔබේ ගිණුමේ පෙන්වීමට විධානය ලබාදිය හැකිය. ඒත් එක්කම ඔබේ ඇති කුසලතාවයන් වෙන වෙනම ඔවුනට අනුමත (Endorse) කිරීමේ අවස්ථාව ලබාදී ඇත. කාර්යය බහුල කෙනෙකුට ඉතා පහසුවෙන් එක ක්ලික් එකක් මගින් මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කල හැකිය.

විවිධ වූ කණ්ඩායම් (Groups) නිර්මාණය කිරීමේ අවස්ථාව Linkedin තුල ලබාදී ඇති අතර, ඔබට ඔබේ වෘත්තියට අදාල තොරතුරු දැනුම අන්අය සමග බෙදාහදාගැනීමට මෙන්ම නව දැනුම ඔබට ලබාගැනීමටද මෙම කණ්ඩායම් වලට එක්විය හැකිය. මෙම කණ්ඩායම් ශ්‍රී ලාංකික හා ගෝලීය ලෙස වර්ග කල හැකිය. එමෙන්ම වෘත්තීය ක්ෂේත්‍රයේ මෙන්ම ලෝක ප්‍රසිද්ධ විවිධ චරිත පිලිබදව ඇති දැනුම ඔබට පහසුවෙන් අනුගමනය follow කල හැකිය. එමෙන්ම ආයතනවල පිටු Companies ඔස්සේ දැකගත හැකි අතර ඔබේ වෘත්තියට අදාල අයතනයන්හි පිටු සමඟ සම්බන්ධ වීමෙන් නව දැනුම මෙන්ම ආයතන සම්බන්ධ බොහෝ කරුණු ගැන ඔබට දැනුවත් විය හැකිය. 

එමනිසා එළඹෙන 2016 වසර Linkedin තුලින් ඔබේ ජීවිතයේ නව පෙරළියක් ඇතිවන්නට නම් අදම ඔබේ ගිණුම ආරම්භ කොට Linkedin තුල සැරිසරන්න. ලෝකයත් සමඟ ගනුදෙනු කොට ඔබේ වෘත්තියෙන් ඉහළම පල ප්‍රයෝජන රටට අත්කර දෙන්න. මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබාදී ඇති පහසුකම් තුලින් ඔබේ වෘත්තීය ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නට උත්සාහ දරන්න.

ඔබසැමට සුභ නව වසරක් වේවා!...
පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු
www.rivira.lk

Monday, November 9, 2015

Click කරන්නට ගොස් අමාරුවේ වැටුනාද?

මුහුණු පොතේ සැරිසරන ඔබට යහළුමිත්‍රාදීන් සමඟ සතුටු සාමිචියේ යෙදෙන්නට මෙන්ම ඔවුන්ගේ එදිනදා ජීවන අත්දැකීම් සමඟ එක්වන්නට හැකියාව ලැබුනත් යම් යම් අවස්ථාවල ඔබ නොසිතූ කරදර ඇබැද්දි වලට මුහුණ දීමටද සිදුවේ. අන් අය විසින් එවන ලද  නොදන්නා සබැදි ඇමුණුම් (Link Attachments)  ක්ලික් කිරීමෙන් ඔබ අසීරුතාවයට පත්විය හැකිය. එසේ එවන ලද පණිවිඩ ඔබ නොදැනුවත්ව ඔබේ මූණු පොතේ බෙදාහැරීම තුලින් ඔබ පිලිබදව වැරදි වැටහීමක් ඔබේ මූණූ පොතේ සිටිනා අයට හැගෙන්නට පුළුවන. එමෙන්ම මෙවැනි දෑ කිලික් කිරීමෙන් ඔබ නොදැනුවත්ව ඔබේ පරිගණකයට විවිධ වැඩසටහන් මෙන්ම ඔබේ මුරපද සොරකම් කරනා මෘදුකාංග ඔබට නොදැනීම ඇතුල්විය හැකිය.


ඔබ අනවශ්‍ය පළකිරීමක් (post), අවස්ථා (evenst), සමුහ (groups), පිටු (pages) වලින් සිදු වුව හොත් පහත ක්‍රියා මාර්ග අනුගමනය කර ඔබේ ගිණුම සුරක්ෂිත කරගන්න.

1. ඔබට ඔබේ ගිණුමට ඇතුන්විය හැකි නම්, මුරපදය වෙනස්කරගන්න. ඔබට ඔබේ ජංගම දුරකථනය ගිණුම සමඟ සම්බන්ධ කල හැකි අතර ඔබේ අංකය අන්අයට නොපෙනෙන ලෙස තබාගත හැකිය.


2. ඔබේ ගිණුමට ඇතුල්වුවාට පසු ඔබේ Settings පිටුවට යන්න.
           www.facebook.com/settings එහි Security පිටුවේ Where You're Logged In කොටසේ ඇති ඔබ ගිණුමට ඇතුළු වී ඇති සම්බන්ධය හැර අන් සියළු දෑ End All Activity මගින් ඉවත් කරගත හැකිය. එමගින් ඔබ හෝ වෙනත් කෙනෙකු ඔබේ ගිණුමට වෙනත් පරිගණකයක් හෝ ඩිජිටල් මෙවලමකින් ඇතුල් වී ඇත් නම් එය නැවත ඇතුළු විය නොහැකි ලෙස අවලංගු වී යයි.

3. අන් අයට ඔබේ ගිණුමේ තොරතුරු පලකිරීම ඔබේ අනුදැනුම ඇතිව සිදුකිරීමට අවශ්‍ය විදානය ලබාදිය හැකිය. ඒ සදහා Settings – Timeline and Tagging පිටුව වෙත ගොස් How can I manage tags people add and tagging suggestions? හි Review tags people add to your own posts before the tags appear on Facebook? Enabled කරන්න.

4. ඔබ විසින් ඔබේ ගිණුමට ඇතුලත් කරගන්නා ලද අනවශ්‍ය Apps and Games ඇත්නම් එවා ඉවත් කරගන්න. https://www.facebook.com/bookmarks/apps


5. ඔබ විසින් පළනොකල ඔබේ පිටුවේ නොදැනුවත්ව පලවී ඇති සියළු ඡායාරූප (Photos), පළකිරීම් (posts), අවස්ථා (events), සමුහ (groups), පිටු (pages) ඉවත් කරන්න. මන්ද එවැනි දේ ඔබේ මිතුරෙකු අපහසුතාවයට පත් කල හැකිය.

6. නිතරම ඔබ අන්තර්ජාලය භාවිතා කරන්නේ නම් ඔබේ පරිගණකය යාවත්කාලීන (update) කරන ලද වෛරස් මෘදුකාංගයක් ආධාරයෙන් පරීක්ෂා කරන්න.

7. යම් අත්වැරදීමකින් ඔබේ පරිගණකය තුලට මෘදුකාංගයක් අන්තර්ජාලය හරහා භාගතවී (download) ස්ථාපිත (Install) වී ඇත්නම් ඔබ දන්නා හදුනන පරීගණක දෘඪකාංග ශිල්පියෙකු (Computer Hardware Technician) ලවා එය පරීකාෂා කරගන්න.

8. නවතම සංස්කරණයක් සහිත Chrome, Firefox, Internet Explorer, Safari Browser බ්‍රව්සරයක් භාවිතා කරන්න.

9. ඔබ අනවශ්‍යයැයි හැගුණ යම් ඡායාරූප (Photos), පළකිරීම් (posts), අවස්ථා (events), සමුහ (groups), පිටු (pages) දුටුව හොත් Report අධාරයෙන් ෆේස්බුක් ආයතනයට දන්වන්න. එමගින් ඔබත් ඔබේ මුහුණු පොතේ මිතුරනුත් අගතියට පත්වීමෙන් වැලකේවී.

10. සැමවිටම ඔබ දන්නා අය නිවැරදි තොරතුරු හා සත්‍ය ඡායාරූප පලකර ඇති ගිණුම් පමණක් ඔබේ ගිණුමට සම්බන්ධ කරගැනීම යුහුසුළු වන්න. ව්‍යාජ ගිණුම් වලට නොරැවටෙන්න. මිතුදමට එක්කරගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ ගිණුමේ ඇති තොරතුරු හොදින් පරීක්ෂා කර බලන්න.

අද බොහෝ ෆේස්බුක් පරිශීලකයින් නොදැනුවත්කම නිසා විශාල ප්‍රශ්ණ වලට මුහුණ දී ඇති හෙයින් ඔබත් වැඩි වැඩියෙන් නිවැරදි ෆේස්බුක් භාවිතය පිලිබඳව දැනුවත්වී ෆේස්බුක් ජාල වෙබ් අඩවියෙන් ඔබේ පැරණි මෙන්ම නව මිතුරන් සමඟ සතුටු සාමිචියේ යෙදීමට, සමාජ සම්බන්ධතා වැඩිකරගැනීමට, ඔබේ සොදුරු අදහස් හා ආකල්ප සමාජගත කිරීමට උපරිම ප්‍රයෝජනය ලබාගන්න.

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු

- 2015 නොවැම්බර් මස 9 වෙනි සදුදා රිවිර



Saturday, October 31, 2015

ඌවේ අප මුතුන්මිත්තන් කළ නිදහස් සටන

ඌව වෙල්ලස්ස කවදත් ජාතිය වෙනුවෙන් සටන් වැදුනු රණවිරුවන් සිටි රන් පොළොව විය. මෙම නිදහසේ පිය සටහන් මත ජාතියේ ලේ තැවරී ඇත. එම කතන්දරය හැම හෙළයෙක්ම කියවිය යුතු ජාතියේ කතන්දරයයි. ඒ අප මුතුන් මිත්තන් ගෙන ගිය සටන් වල ප්‍රතිඵලය ලෙස 1948 පෙබරවාරි 4 අපට දේශපාලන නිදහස ලැබුණි. එම අසිරිමත් කරුණ අද අපි සාඩම්බරයෙන් සැමරිය යුතුව ඇත.
වීර කැප්පෙටිපොල ඇතුළු අප මුතුන් මිත්තන් කළ සටන ඌව දනව්ව පමණක් සීමා වූ ප්‍රාන්තීය සටනක් නොව මුළු හෙළයම අධිරාජ්‍ය පාලනයෙන් හා කෘෘර ඒකාධිපති පාලකයින්ගෙන් නිදහස් කර ගැනීමේ ජාතික සටනක. මෙම ජාතික නිදහස් සටන සඳහා උපදෙස් දී ආශිර්වාද කර යුධ පිටියට පවා ගොස් ඇත්තේ අප බෞද්ධ භික්ෂූන් වහන්සේ බව ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ඌව මහ කැරැල්ල පර්යේෂණ ග්‍රන්ථ වෙළුම් වලින් පෙන්වා දී ඇත.

1815 උඩරට ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමට පෙර සුද්දන්ගේ කතිර ධජය එසවීම ගැන ප්‍රකෝප වූ අපේ වාරියපොල ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කළ සිංහ නාදය ජාතිය පවත්නා තෙක් හැම හෙළයෙක්ම අමතක නොකළ යුතු සිද්ධියකි.



නිදහස් සටනට උරදුන් සංඝරත්නය

ඌව මහ හටන මෙහෙයවූ අපේ මුතුන් මිත්තන් තම සටන් පෙරමුණේ රජු ලෙස තෝරාගත්තේ භික්ෂූන් වහන්සේ කෙනෙක්ව සිටි අයෙකි. විල්බාවේ හාමුදුරුවෝ සිවුරු හරවාගෙන සිංහළයේ රජු ලෙස අභිෂේක කළේ අප ඌවේ නිදහස් සටන ගෙන ගිය කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු පිරිසයි.
එදා සටන් මෙහෙය වන විට ජනතාව පිළිගන්නා රජෙක් සිටිය යුතුව තිබුනි. ඌවේ සටන මෙහෙයවීමට රජකු අවශ්‍ය විය. රජෙකුගේ තේජසය රාජ උදාර පෞරුෂය ඇති අයෙකු කිවුලේ ගෙදර මොහොට්ටාලට සොයා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා තෝරාගත්තේ විල්බාවේ හාමුදුරුවොයි. මෙම හිමිනම අස්ගිරි විහාරයේ උපසපන් හිමි නමක්ව සිටි බව විල්බාවේට විරුද්ධව පසුව අසන ලද නඩු විභාගයේදී ඔප්පු වී ඇත. එහිදී සාක්ෂි දුන් සාක්ෂිකරුවෙක් විල්බාවේ හදුන්වා දී ඇත්තේ මෙසේය.
විල්බාවේ වෙදරාල්ලෑගෙදර හෙවත් ලේකම් ලෑ ගෙදර හෙවත් කපුරාල්ලෑගෙදර මුදියන්සේ නැමැති තැනැත්තා කැරැල්ලට පෙර විල්බාවේ උන්නාන්සේ නමින් මා දැන සිටියා වූද අස්ගිරි විහාරයේ දී ඔහුගේ උපසම්පදාව සිදුකරන අවස්ථාවේ මට දක්නට ලැබුණු පුද්ගලයාද මොහුම යයි යනුවෙන් සාක්ෂී දී ඇත.
එසේම එම සාක්සීකරු මෙසේද සඳහන් කර ඇත. මොණරාගල සිට ආපසු එන ගමනේදී බුත්තල විහාරය තුල සිරකර සිටි භික්ෂූන් සමුහයක් දිටිමි. එසේම මෙම සටන් සමයේදී භික්ෂූන් වහන්සේ ඉතා දුෂ්කර ගමනක යෙදී සිටි බැව් පෙනේ. මහනුවර සිට මහියංගනය, හේවාහැට, දියතලාවල. හගුරන්කෙත, කතරගම වැනි ප්‍රදේශවලට ඉතා දුෂ්කර ගමනක සතුරන්ට අසුනොවී නිදහස් සටන මෙහෙයවීමට සංඝයා වහන්සේ ගිය ගමන ගැන තෙන්නකෝන් විමලානන්දගේ ඌව මහ කැරැල්ල පොතේ විස්තර කර ඇත.
මෙම ව්‍යාජ රජුගේ අණ පරිදි වියළුව සහ වලපනේ දිසාව තනතුරට පත්කරන ලද කිවුලේගෙදර මොහොට්ටාල විසින් එවන ලද පණිවුඩයක් මගින් මා ව්‍යාජ රජු වෙත යවන ලදී.
“මෙම භික්ෂූන් වනවාස ගණයට ඇතුලත් බවද ඔවුන්ගෙන් කෙනෙකු රජ යයි කියන පුද්ගලයා බවද මට අසන්නට ලැබුණි“ යැයි සාක්ෂිකරු තැනක කියා ඇත.

විනිශ්චයකාර හෙන්රි රයිට් ඉදිරිපිට විල්බාවේ තම නිදහසට කී කරුණු -

විල්බාවේ තම නිදහස සඳහා කළ පාපොච්චාරණය තුල ඉතා වැදගත් කරුණු රැසක් ගැබ්ව ඇත. (1. උඩරට මහා කැරැල්ල තුන්වන වෙළුම - 3 සිට තෙන්නකෝන් විමලානන්ද 2 එම - 6 වැනි පිටුව).

“කුරුණෑගලට නුදුරු විල්බාවේ ගමේ සිට තවත් භික්ෂූන් සත් දෙනෙකු සමග වන්දනා ගමනක් සඳහා පිටත්වීමි. මා සමග ගිය සදෙනා අතරින් අල්ගම උන්නාන්සේ තත්ත්වයෙන් මට සමානය. අනෙක් පස්දෙනා මගේ ශිෂ්‍යයෝය. සිංහළයේ නොයෙක් පළාත් මැදින් ගමන් කල අපි තුන් කෝරළය සතර කෝරළය සබරගමුව ඌව සහ බින්තැන්න හරහා කතරගම සිද්ධස්ථානය කරා ගොස් දඹුලු විහාරයට යන අදහසින් මහියංගනය ඉදිරිපස ගමන් කරමින් සිටියෙමු. එකල බින්තැන්නේ වැදි රටේදී දුනු හී ගත් වැදි පිරිසක් සමග පැමිණි කිවුලේ ගෙදර මොහොට්ටාල අපට යන්ට ඉඩ නොදී නැවැත්වීය. ඔවුහු මගේ සිවුර ඉවත් කරන ලෙස මගෙන් ඉල්ලීය. මක් නිසාදැයි මම ඔහුගෙන් ඇසිමි. කැරැල්ලට මා සම්බන්ධ කරගනීමට ඔවුනට උවමනා බව ඔවුහූ කීහ. මා වනවාසී භික්ෂූවක් බැවින් ඔවුන්ගේ ඉල්ලීමට එකගවිය නොහැකි බැව් කීමි. මට එසේ කිරීමට බලකළ ඔහු අනිකුත් භික්ෂූන් පිටත් කර හැරීමට කැමති වූහ. මම දින දහයක් හා පහලොවක් එම ගුහාවේ රැදී සිටියෙමි. වෙන භික්ෂූන් පිරිසක් අසල ගුහාවක සිටි බව මේ කාලයේ මට අසන්නට ලැබුණේය. මේ අතර කිවුලේ ගෙදර එහි පැමිණ යුද්ධය ආරම්භ වූ බවත්, තවදුරටත් එහි රැදීම නුසුදුසු බවත් කීය. අපි පළමුවෙන් හේවාහැටට පැමිණියෙමු. මින් දින පහක් ගත කලාට පසු කැප්පෙටිපොල කොත්මලේ සිට දන්ත ධාතූණ් වහන්සේ රැගෙන පැමිණියේය. සම්භාවණීය දර්ශනයක් මා කෙරෙන් විද්‍යාමාන වූ බැවින්ද හොඳට බණ කීමෙහි සමර්ථ හෙයින්ද කිවුලේගෙදර මොහොට්ටාල මා මේ සඳහා ඉදිරිපත් කළේය. (3 උඩරට මහා කැරැල්ල තුන්වන කාණ්ඩය 16-19 පිටු).

විල්බාවේගේ මෙම ප්‍රකාශය තුල ඌව මහ සටනේ ප්‍රධාන ලක්ෂණ හා පරමාර්ථ සියල්ල ගැබ්ව ඇත. මෙම සටන ජාතික සටනකි. සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ගෙන ගිය ජාතික සටනකින් සිංහළයා මුදුන්මල්කඩ ලෙස සැලකූ දළදා හාමුදුරුවෝ පෙරටුවේ තබා රට දැය ආගම සඳහා නිදහස් සටනකින් මහනුවර දළදා මාළිගාවෙන් ශ්‍රී දන්තධාතූන් වහන්සේ රහසේම ලබාගෙන ඌව කැරළි නායක කිවුලේගෙදර මොහොට්ටාල අතට පත්කළ වාරියපොල සුමංගල හිමියන්ගේ අභීත ක්‍රියාව ආචාර්්‍ය තෙන්නකෝන් විමලානන්ද පෙන්වා දී ඇත. මෙසේ ගෙන ආ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ අභියස තබාගෙන සිංහළේ ජන සම්මත රජු වූ විල්බාවේට අභිෂේක මංගල්‍යයක් හගුරන්කෙතදී සිදුකළ අන්දම ඌව මහ සටනේ විස්තර කර ඇත. විල්බාවේට විරුද්ධව විමසු නඩුවේ පළමුවන සාක්ෂිකරු කළ කරුණුද අප නිදහස් සටන පිළිබඳව වූ වැදගත් තොරතුරු රැසක් මෙසේ සඳහන්ව ඇත.



“ඌව උඩුකිඳ දී පළමුවෙන්ම කැරැල්ලට සම්බන්ධ වූ මම ව්‍යාජ රජු හා කැප්පෙටිපොල සමග හේවාහැට ප්‍රදේශයේ දිය බෙත්මට ගියෙමි. එහි තනා තිබූ මාලිගාවට පැමිණි ව්‍යාජ රජු විදේශිකයන් පළවා හැර රාජ්‍ය සෞභාග්‍යයට පැමිණවීම සඳහා කතරගම දෙවියන් විසින් ඔහු පත්කරන ලදැයි ශබ්ද නගා ප්‍රකාශ කළේය. පසු දින අපි ඌවේ කන්ද පල්ලේ කෝරළේ ලේමස් තොටට ගියෙමි. රාජ ලීලාවෙන් ඇඳ පැළඳ සිටි ව්‍යාජ රජු එහි ගෙනගියේ රාජකීය දෝළාවකිනි. මේ කාලය තුල ව්‍යාජ රජු වශයෙන් පෙනී සිටි සිරකරුවා පදවි රාශියක් ඇති කර ඒ ඒ අයට පවරා දෙන ලදී. ඔහුගේ මහ අදිකාරම් වශයෙන් ක්‍රියාකලේ කැප්පෙටිපොලය“.

සාක්ෂිකරු මෙසේද කීවේය.

“කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා සෝවර්ස් මහතා විසින් ඌවට යවනු ලැබූ කැප්පෙටිපොල පහත ඌවේ කරෙව්ලදී හමු වූ දූතයෙක් කැරළි කරුවන්ගේ රජු එවූ ලිපියක් බාර දුන්නේය. ඒ ලියුම කියවනු මට ඇසුනේය. (එය ලැබෙන විට හෙතෙම දිසාව සමඟ සිටියේය.) ලියුමෙහි සඳහන් වුයේ කැරළි කරුවන්ගේ රජු විසින් මහනුවරට අයත් සියළු උසස් තනතුරු ඔහුට පවරා ඇති බැවින් වහාම රජු ඉදිරිපිට පෙනී සිටිය යුතු බවය. මේ තල්පත කියවීමෙන් පසු මා ඇතුළු ඔහු පිරිවරා සිටි වෙනත් මුලාදෑනිවරුන්ට ඉවත්ව යන ලෙස අවසර දුන්නේය. පසු දින උදේ දිසාව දක්නට නොමැති විය. වෙල්ලස්සේ සිට රජු කරා කැඳවාගෙන යාම පිණිස එවන ලද ආරක්ෂක පිරිස සමග පිටත්ව ගිය බවත්ය ඔහුගේ සියලු පිරිවර ජනයා නවත්වා ඔවුන් අතරින් සුළු මුලාදෑනි දෙදෙනෙකු පමණක් කැටුව රාත්‍රියේම පිටත්ව ගිය බවත් අපට අසන්නට ලැබුණේය.“
“කැප්පෙටිපොල මෙම ව්‍යාපාරය සිය කැමැත්තෙන්ම කරන එකක් හැටියට මෙම සිදුවීම අනුව අවබෝධ කරගතිමි. මීට මාස 3කට පමණ පසුව උඩුකිඳ දී මට කැප්පෙටිපොල හමුවිය. පළමුවෙන්ම කැප්පෙටිපොල කැටිව නොපැමිණීම ගැන මට චෝදනා කොට ඔහුගේ අණ පරිදි මාව දින 15ක් සිරභාරයේ තබන ලදී“. (උඩරට කැරැල්ල තුන්වන වෙළුම 10 – 20 පිටු ).

ඌව කැරැල්ල මෙල්ල කිරීමට කැප්පෙටිපොල ඌවට පැමිණි පුවත ආචාර්යය පුංචි බණ්ඩාර සන්නස්ගල පවසන්නේ මෙසේය. “එදා කැරැල්ලේ නායකත්වය දැරූ කොහුකුඹුරේ රාළ කැප්පෙටිපොල අමතා මෙසේ කීය. පස්වාන් දහසකට බුදුවන්ට හාමුදුරුවනේ අපි මේ කරන්නේ නැති වී ගිය සිංහල රාජ්‍ය ඇති කරගැනීමේ සටනක් එයට ඔබ වහන්සේගේ නායකත්වය දෙනු මැන.“
මේ අනුව කැප්පෙටිපොල තබා සමග එවූ සෙබල හමුදාවත් අවි ආයුධත් සියල්ලම ඉංග්‍රීසීන්ට බාරදී ඌව ජනතාව හමුවේ දිවුරාල රට ජාතිය බේරාගැනීමේ සටනේ පුරෝගාමීත්වය භාරගත් බවට එදා කැප්පෙටිපොල ප්‍රසිද්ධියේ පොරොන්දු විය. මෙම පොරොන්දුව අණබෙර මගින් ප්‍රචාරය කළ විගස සුළං රැල්ලක් සේ උඩරට රාජ්‍යය තුලම වැසියන් බොහෝ දෙනෙකුට දැනගැනීමට ලැබුණේය. (පූජිත ජීවිත පළමු වෙළුම - පිට 6).

ඌව දනව්ව

Sunday, October 18, 2015

ඌවේ පෞරාණික විහාරස්ථාන

මොණරාගල දිස්ත්‍රික්කය තුළ දැනට නටබුන් බවට පත්ව තිබෙන පෞරාණික විහාරස්ථාන පිළිබඳව පූර්ණ ගවේෂණයක් හො පර්යේෂණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තවම සිදුකර නොතිබීම පාඩුවකි. සමහර පූජනීය ස්ථාන වලට භාවිතා කළ නම් පවා ජනවහරින් ඉවත්ව තිබේ. එබදු විහාරස්තාන ගැමියන් හදුන්වනු ලබන්නේ නෂ්ඨාවශේෂ අනුව තබා ගත් නම් වලිනි. ටැම්ගල්මණ්ඩිය, ටැම්ගල්ලන්ද, වෙහෙර පුදාම, වෙහෙරගල, පන්සල් වත්ත වැනි නම් වලින් කියැවෙන තැන පැරණි විහාරස්ථාන බව නිසැකය. එබදු අප්‍රකට පූජනීය ස්ථාන හදුනාගෙන ආරක්ෂා කළ යුතුව ඇත. මේ රටට නිදහස ලැබීමට වසර කිහිපයකට පෙර ඌව පළාතේ පෞරාණික සිද්ධස්ථාන ගවේෂණයක යෙදුණු පණ්ඩිත, නාඋල්ලේ ධම්මානන්ද නාහිමියෝ තමන් වහන්සේ සියැසින් දුටු විහාරස්ථාන ලුහුඩු සටහන් මගින් ඌව ඉතිහාසයට එකතු කළහ. උන් වහන්සේ ස්වකීය කෘතියෙන් පෙන්වා දුන් විහාරස්ථාන මෙසේයි.

1. වැලිගම් වෙහෙර
2. ලුණුගල් වෙහෙර
3. උණවටුන සෑය
4. යුදගණා සැය
5. අඤ්ජලි පබ්බත විහාරය
6. උඩගම විහාරය
7. ගැරඩිබතිත විහාරය
8. වගුරුවෙල විහාරය
9. දෙමටමල් විහාරය
10. මාලිගාවිල
11. ගල්ටැම්මණ්ඩිය විහාරය
12. හැබැස්ස
13. යටිල්ලාතොට විහාරය
14. විහාරමුල්ලේ විහාරය
15. මොණරාගල විහාරය හා දළදා මැදුර
16. කොළොන්වින්න විහාරය
17. කොටියාගොඩ විහාරය
18. මණ්ඩාගල විහාරය
19. තලතුරු විහාරය
20. තුඹල්තිස් පවු වෙහෙර
21. දොවේ රජමහා විහාරය
22. යාලමඩිත්තේ පුරාණ විහාරය
23. ගල්ගේ පිටියේ ලෙන් විහාරය
24. මුතියංගණ රාජමහා විහාරය
25. බෝගොඩ විහාරය
26. උළුගල වෙහෙර
27. ගනේතැන්නේ විහාරය
28. දිවුරුම්වෙල විහාරය
29. කලබුලුලන්දේ පුරාණ විහාරය
30. දඹවින්නේ පුරාණ විහාරය
31. මල්පොත පුරාණ විහාරය
32. සොරගුනේ විහාරය
33. බෝගන්දන වෙහෙර
34. මිණිනාපවු වෙහෙර
35. කොටවෙර විහාරය
36. හම්බේගමු වෙහෙර
37. අරඹේකෙම් වෙහෙර
38. සීමා පවුවෙහෙර
39. පණ්ඩිත් කුලම් වෙහෙර
40. ගෝටපබ්බතාරාමය
41. කිංකිණි වෙහෙර
42. බුදුරුවගල
43. කොටවෙහෙරගල
44. මල්ලත්තාවෙල පුරාණ විහාරය
45. පස්සර රජමහා විහාරය
46. දුම්මලේතැන්නේ විහාරය
47. වෙහෙරවත්තේ වෙහෙර
48. ටැම්ගොඩ රජමහා විහාරය
49. නාගල විහාරය
50. විල්ගම් වෙහෙර
51. පොතු බන්දන විහාරය
52. ගිරිතිම්බ විහාරය
53. කොටසර පියංගලු වෙහෙර හා දළදා මැදුර
54. නාගදීප විහාරය
55. ආරණ්‍ය පර්වත විහාරය
56. මහියංගණ රාජමහා විහාරය
57. බුදුගේ කන්ද ලෙන් විහාරය
58. කදුරුගොඩ විහාරය
59. කිරෝනාගම විහාරය
60. කතරගම කිරිවෙහෙර
61. කොස්ලන්ද විහාරය
62. අතරුගිරි විහාරය
63. ලෙන් වෙහෙර
යන විහාරස්ථාන ඌව පළාතේ පැරණි විහාරස්ථාන වශයෙන් ඌව ඉතිහාසය පෙන්වා දී ඇත.

මහියංගණ රාජමහා විහාරය

මේ රට නිදහස ලබා වසර 15ක් ගිය තැන රුහුණු දනව්ව තුළ සැඟවුණු වෙහෙර විහාර සොයා සංචාරයක යෙදුණු පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා “රුහුණේ අප්‍රකට පුරා වස්තු‘‘ නමින් ග්‍රන්ථයක් ලියා පළ කලේය. එහි බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලදී තමන්ට දකින්නට ලැබුණු පැරණි විහාරස්ථාන නම් වශයෙන් මෙසේ හදුන්වාදී ඇත.

1. පිළමකෙම
2. හිඟුරේගල
3. කෝන්කැටිය
4. කෝමාරිකා ගල
5. බුදුරුවගල
6. තලගුරු වෙහෙර
7. දිවුල්බාල විහාරය
8. සීමාපහු කන්ද විහාරය
9. ඇතිලිවැව
10. මාලිගාවිල හා දඹේගොඩ
11. දෙමටමල් වෙහෙර
12. හබැස්ස
13. ලේදෝරුගල
14. මොණරාගල විහාරය
15. වැලියාය
16. මඩුල්ලගස්මුල්ල
17. ගලබැද්ද
18. කිඹුලාවෙල
19. වැලඵල්ලුගොඩ කන්ද
20. මණ්ඩාගල
21. ගල්කොටුව
22. කිරිවැල්ගොඩ
23. නයින්නේවෙල විහාරය
24. බුද්දම

මුතියංගණ රාජමහා විහාරය


බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි පැරණි විහාරස්ථාන වශයෙන් ගුණපාල සේනාධීර මහතා නම් සදහන් කර තිබෙන තැන්

1. මහියංගණය
2. ඔලගංගල
3. බෝගොඩ
4. මැටිගහතැන්න
5. කහටඅතුහෙල
6. මාපාකඩවැව
7. මාවරගල

බෝගොඩ රාජමහා විහාරය


මේවාද ආගමික හා පූරාවිද්‍යාත්මක අතින් වැදගත් තැන් බව නොකිවමනාය.

ඌව දනව්ව - වි.වා.මු. තිලකසිරි බණ්ඩාර මහතා.

Monday, October 12, 2015

ෆේස්බුක් අවදානමට පෙර සූදානමක්

මෑත භාගයේ ෆේස්බුක් භාවිතා කරන බොහෝ තරුණ තරුණියන් තමන්ගේ ෆේස්බුක් ගිණුම සදහා නොදන්නා මිතුරු මිතුරියන් අධික ලෙස එක්කරගැනීම හේතුවෙන් දැඩි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දී සිටිති. ඔබ නොදන්නවා වුනාට තමන් නොදන්නා අය තමන්ගේ ඡායාරූප භාවිතා කොට ව්‍යාජ ගිණුම් සකස් කර ලිංගිකත්වය සම්බන්ධ තොරතුරු එම ගිණුම් ඔස්සේ ප්‍රචාරය කොට තම ප්‍රතිරූපයට කැලලක් ඇති කරන්නට උත්සාහ කල හැකියි. එවැනි සිදුවීම් මෑත කාලයේ මා හට දැකගන්නට ලැබුණි.

ඔබ ඔබේ ෆේස්බුක් ගිණුමේ පහත සදහන් දෑ නොකරන්නට වගබලාගන්න

1.ඔබේ හෝ ඔබේ පවුලේ සාමජිකයන්ගේ සම්පූර්ණ උපන්දින පලනොකරන්න. ඔබ යම්කිසි හෙයකින් එය පලකල හොත් එය අන්කෙනෙකුගේ සමාජ විරෝධී ක්‍රියාවකට භාවිතා කල හැකිය.
2. ඔබ මේ මොහොතේ සිටිනා ස්ථානය පලකිරීමෙන් වලකින්න. මෙය ඉතා වැදගත්ය ඔබ දැන් සිටිනා ස්ථානය ෆේස්බුක් පිටුවේ පලකිරීම මගින් ඔබට යම් කෙනෙකුට අනතුරක් සිදුකරන්නට අවශ්‍ය නම් එයට ඉඩප්‍රස්ථාව ඔබ විසින්ම සැලසුවා වැනිය.
3. ඔබේ පෞද්ගලික තොරතුරු. ඔබේ විවාහක/අවිවාහක භාවය.  ඔබ ජීවත් වන්නේ තනියමද, ඔබේ නිවසේ තොරතුරු මෙවැනි දෑ පලකිරීම මගින් පහසුවෙන් වෙනකෙනෙකුගේ ගොදුරක් බවට ඔබ පත්වන්නට තිබෙන අවධානම වැඩිය.
4. ඔබ ඔබේ රැකියාව සම්බන්ධව ඇති ගැටලු හා අතෘප්තිය  පලකිරීමෙන් වලකින්න. යම්හෙයකින් ඔබේ රැකියාව සම්බන්ධව විවේඡනයක් පලකල විට එමගින් ඔබේ ආයතන ප්‍රධානියා ඔබ සමඟ උරන වන්නට පුළුවන එමෙන්ම ඔබ ඒ ආයතනයෙන් වෙනත් අයතනයක රැකියාවකට ගියත් මේ තොරතුරු දැනගැනීමෙන් ඔබ අයදුම්කරනු ලබන ආයතනයේ ප්‍රධානියා ඔබ ගැන අප්‍රසාදයක් ඇතිකරගැනීමට පුළුවන් අතර, ඔබට ලැබෙන්නට ඇති වටිනා අවස්ථාවක් එමගින් ඔබට නොලැබී යන්නට පුළුවන.
5. ඔබගේ දරුවන්ගේ ඡායාරූප පලකිරීමෙන් වැලකෙන්න. ඔබ නිවසේ නැති මොහොතක ඔවුනට පිටස්තරයෙකුගේ කරදරයකට මුහුණ පෑමට ඇති අවදානම වැඩිය.
6. දරුණු දේශපාලනික හා ආගම සම්බන්ධ අදහස් පලකිරීමෙන් වැලකෙන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට යම් හානියක් විය හැකිය. සමාජ ජාල වෙබ් අඩවිතුල ඔබ දන්නා පුද්ගලයන් මෙන්ම ඔබ නොදන්නා පුද්ගලයන්ද සිටින බැවින් යම් විරුද්ධ දේශපාලන හෝ අගමික මතයක් දරන කෙනෙකු ඔබට අනතුරක් හෝ පලිගැනීමක් සිදුකිරීමට ඇති අවධානම ඉහලය.
7. අසභ්‍ය වචන භාවිතය තොරවන්න. මෙමගින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදුවනවා මෙන්ම කියවන කෙනාද අපහසුතාවයට ලක්විය හැකිය. එමෙන්ම අසභ්‍ය වචන භාවිතයෙන් ඔබකෙරෙන් ඔබේ මිතුරන් පවා ඉවත්වන්නට ඇති ප්‍රවණාවතාවය ඉහලය.
8. ඔබේ නිවාඩුව ගැන විස්තර පලකිරීමෙන් වැලකෙන්න. ඔබ විවේකීව සිටිනා ස්ථානය සදහන් කිරීම තුලින් අන් අයගේ දුරකතන ඇමතුම්, ඔබ මුණගැසීමට පැමිණීම තුලින් ඔබේ විවේකය ඔබට අහිමිවන්නට ඇති ඉඩකඩ වැඩිය.
9. ඔබ පිලිබද සියළු විස්තර පලකිරීමෙන් වැලකී සිටින්න. එමගින් සියළුදෙනා ඔබගැන සියළු තතු දැනගනී. එමගින් ඔබේ පෞද්ගලිකත්වයට හානිවිය හැකියි.
10. අධික ලෙස ඡායාරූප පලකිරීමෙන් වලකින්න. විශේෂයෙන් ඔබ කාන්තාවක් නම් අධික ලෙස ඡායාරූප පලකිරීමෙන් වලකින්න. ඔබේ ඡායාරූප විකෘතිකර වෙනත් ගිණුම් සකස් කිරීමේ ඇති හැකියාව වැඩිය.
ඔබට සිදුවන ෆේස්බුක් හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පහත ලින්ක් එක භාවිත කරන්න.
https://www.facebook.com/help/contact/274459462613911

අවුරුදු 13ට අඩු දරුවෙකුගේ ඡායාරූප ඇතුලත් කල ෆේස්බුක් ගිණුමක් ඇත්නම් පහත සදහන් ලින්ක් එක ඔස්සේ ඔබට එය ෆේස්බුක් ආයතනය වෙත දැන්විය හැකිය.
https://www.facebook.com/help/contact/209046679279097

ඔබේ ගිණුමේ ආරක්ෂාව සලසාගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/settings?tab=security

ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීමට පහත ලින්කය ඔස්සේ ගොස් එහි ලබාදී ඇති විදිවිදාන භාවිතා කරන්න.
https://www.facebook.com/settings?tab=privacy

සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් තුල ඔබගේ ඡායාරූප එක්කිරීමේදී ඒ සදහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පිලිපැදීම මගින් ඔබගේ ආරක්ෂාව සලසා ගත හැකිය. එමෙන්ම ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය අළුත් වැඩියා කිරීමට ගෙන යෑමේදි සියලුම ඡායාරූප එයින් ඉවත් කිරීමට වගබලා ගන්න. ඉතා විශ්වාසදායක තැනකට එය අළුත්වැඩියා කිරීමට භාරදෙන්න. ඔබගේ මුර පදය සදහා (#$%@#) සංකේත භාවිතා කරන්න. එමෙන්ම ඔබගේ ෆේස්බුක් ගිණුමේ අන් අයට ඔබේ අනුදැනුමකින් තොරව දැන්වීම් පලකිරීමට ඇති අවස්තාව අවහිර කරන්න. එමගින් ඔබට අන්අය ඔබේ ගිණුමතුල ලිංගිකත්වය හා සම්බන්ධ තොරතුරු පලකිරීමෙන් වලක්වා ගැනීම මෙන්ම ඔබේ ගිණුමට ආරක්ෂාව සැලසෙනු ඇති.
ඔබ සැලකිලිමත්වුව හොත් ඔබට වෙන්නට ඇති අනතුරකින් ඔබට ගැලවිය හැකිය. සමාජ ජාල වෙබ් අඩවි තුලින් ඔබබේ සමාජ සම්බන්ධතා ගොඩ නැගෙන අතර එමගින් සිදුවිය හැකි අකටයුතුකම් ගැනද ඔබ දැනුවත් වී සිටීම තුලින් ඔබේද ඔබේ සමීපතමයන්ගේද ආරක්ෂාව සැලසෙනු ඇත.
වැඩිදුරටත් දැනුවත්වීම සදහා පහත ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.
www.facebook.com/CSSriLanka

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු


12-10-2015 ‘රිවිර‘ පුවත්පතේ, සයිබර් යෞවනය කොටසේ පලවු ලිපියකි.



Friday, October 2, 2015

ඌවේ නිදහස් සටන

උඩරට රදල ප්‍රධානීන් 1815 උඩරට ගිවිසුම අත්සන් කළේ පලුදුවී ගිය තම ස්වාධීනත්වය හා රාජ්‍ය පාක්ෂික භාවය නැවත තහවුරු කර ගැනීමේ උදාර අදහස මතය ශ්‍රී වික්‍රමරාජසිංහ රජු සිහසුනෙන් පහකොට ඔහු අල්ලා ගැනීමෙන් පසු ස්වදේශය රදල පෙලැන්තිය බලාපොරොත්තු වූයේ සිංහලේ ප්‍රධාන අදිකාරම් වූ ඇහැලේපොල රජ බවට පත්කරන බවට ඉංග්‍රීසීන් විසින් දෙන ලද ඉඟියක් අනුවය. එහෙත් අවාසනාවකට මෙන් සිදුවූයේ අනෙකකි. ගිවිසුමේ කොන්දේසි ඉංග්‍රීසීන්ට දැන් අමතකය. අනුක්‍රමයෙන් ඒවා ගිලිහෙමින් පැවැතුණි. බුද්ධාගම හා භික්ෂූන් වහන්සේ පිළිබඳව ඉටුකරන බවට දුන් පොරොන්දු ජාතිකයෙකුට පැවරීම කිසිසේත්ම සතුටට හේතුවක් නොවීය.



මේ අතර නායක්කාර් වංශයට නෑකම් කියන රජකමට හිමිකම් ඇති විල්බාවේ හෙවත් දොරේසාමි නම් අමුත්තෙකු වෙල්ලස්සේ සැරිසරන බව දැනගත් ඌව දිසාවේ නතරවී සිටි විල්සන්, උඩරට ප්‍රදේශවල පරිපාලන කටයුතු භාරව සිටි ජෝන් ඩයිල් වෙත දැනුම් දුන්නේය. විල්සන් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා වෙල්ලස්සට ගිය අතර, එහි සිංහලේ නායකත්වය දැරූ බූටාවේ රටේ රාළ සමඟ සාකච්ඡා කළ නමුත් එය අසාර්ථකවී ආපසු වෙනත් පාරකින් පොල්වත්ත හා තල්දෙන හරහා බදුල්ල බලා පිටත්වීමට සිටි විල්සන්ව බිබිලේ උණගොල්ල ඊතණවත්ත දේවාලයේ අසලදී සිංහළ සොල්දාදුවකු වූ තිසාහාමි නැමැත්තෙකු විසින් විදින ලද ඊතළ පහරකින් මරුමුවට පත්විය. තවත් කෙනෙකුගේ මතය වුයේ තිසාහාමි වැදිහමුදාවේ සොල්දාදුවකු බවය. කෙසේ වෙතත් වෙල්ලස්සේ බූටාවේ රටේ රාළගේ සිංහලේ හමුදාව කවදත් විදේශීය ආධිපත්‍යයට විරුද්ධව සටන් ආරම්භ කිරීමේ අභයභූමිය වශයෙන් සළකන ඌවෙන්ම ඉංග්‍රීසීන්ට විරුද්ධව සටනේ මූලිකත්වය වෙල්ලස්සෙන් ඇරඹූ බවය.

හජ්ජියේ සහ විල්සන්ගේ මරණයෙන් කලබලයට පත් ඉංග්‍රීසීන්, විල්සන් දැරූ තනතුරට ආදායම් කොමසාරිස් වශයෙන් සේවය කළ සොයර්ස් පත් කළ අතර. මේ වනවිට වෙල්ලස්ස දිසාව මිල්ලෑවටද, වලපනේ දිසාව කොබ්බෑකඩුවටද, ඌව දිසාව කැප්පෙටිපොලටද පවරන ලදී. මේ අතර පහළ ඌවේ වනගතව සිටි විල්බාවේ හෙවත් දොරේසාමි වෙල්ලස්ස, ඌව සහ බිම්තැන්න ප්‍රදේශවල සිටි සිංහළයන්ව ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් වදින ලෙස නියෝග කළේය. විල්සන්ගෙන් පසුව ඉංග්‍රීසි හමුදාව භාරව කටයුතු කලේ මැක්ඩොනල්ඩ්ය. ඔහු භාෂා පරිවර්ථකයාද විල්සන් මැරූතැන මරා එල්ලා තිබුනි. බූටාවේ රටේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල වෙල්ලස්ස හා වලපනේ සටන් මෙහෙයවූහ. මේ අතර කැරැල්ලේ තරම දැනගත් ඉංග්‍රීසීන් ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව ආදී ප්‍රදේශවලින්ද හමුදා ගෙන්වා, හමුදා මෙහෙයවීම සඳහා කර්නල් කේලී සහ මේජර් ස්පෙන්සර්ද කැරලි ප්‍රදේශවලට යවන ලදී. යුධ නීතිය ප්‍රකාශයට පත්කොට මොහොට්ටාලවරුන් කිපදෙනෙකු සමඟ මොණරවිල කැප්පෙටිපොලද කැරලි මර්ධනයට යැවූ බව කියනු ලැබේ.

බුටාවේ රටේරාළ
කොහුකුඹුරේ රටේරාළ
කිවුලේ ගෙදර මොහොට්ටාල
ආදාවල මොහොට්ටාල

යන අය එකතුව ඉදිරියට එන මොණරවිල කැප්පෙටිපොල අභිමානවත් ජාතික සිංහළයෙකු වශයෙන් ඉංග්‍රීසීන්ට කත් නොඇද සිංහලේ හමුදාවට එක්වන්නයැයි කියා පණිවිඩයක් ලියා යැව් බව කියනු ලැබේ. මේ පණිවිඩය රැගෙන ගියේ ඌවපරණගම බෝඹූරේ වැසි කැරලි නායකයකුව සිටි සුද්දනා දූරයා විසින් යැයි කියනු ලැබේ.



කෙසේ හෝ කැප්පෙටිපොලට මේ වනවිට සිංහලේ හමුදාවට එක් නොවී බැරීවිය. අලුපොතදී සිංහලේ හමුදාවට කැප්පෙටිපොල එක්වූ බව ඉංග්‍රීසීන්ට දැනගන්නට ලැබුනේ යුද නීතිය පැනවූ 1818 නොවැම්බර් 7 දිනයේ විය. කැප්පෙටිපොල ඇහැලේපොලගේ බෑනා කෙනෙකි. සියළුම රදලවරුන් කැප්පෙටිපොලට පක්ෂයහ. කැප්පෙටිපොලගේ තනතුරට ඉංග්‍රීසීන් විසින් මොල්ලිගොඩ නිළමේ පත් කරන ලදී. මෙයින් පසු ඌව කැරල්ලේ නායකයන්වූ 17 දෙනෙකු සටන් මෙහෙයවීම ආරම්භ කිරීමෙත් සමඟ සටන උග්‍ර අතට හැරුනු බව කියනු ලැබේ.

කැප්පෙටිපොල ඌවේ නිදහස් සටනට එක්වීම ඉංග්‍රීසීන්ගේ බියට හේතුවක් විය. 1818 පෙබරවාරී වන විට මඩුගල්ලේ සටනේ දුම්බරද, හේවාහැට, සබරගමුව කොටසක් හා හත්කෝරලේ, හාරිස්පත්තුව, මාතලේ සහ නුවර කලාවියද සටනට එක්විය. උඩුනුවර, යටිනුවර තුන් කෝරළේ හතර කෝරලේ ආදී උඩරට සියළු ප්‍රදේශවල සටන ව්‍යාප්ත විය. මේ නිසා 1818 පෙබරවාරී 21 වන දින මුලු උඩරටම යුධ නීතිය පැනවිය. කැරල්ලේ නායකයන් අල්ලා දෙන අයට තෑගි පිරිනෑමීමද කරනු ලබන බව ප්‍රසිද්ධ කළේය. ඉන්දියානු හමුදාවක ආධාරද ලබාගත්තේය. කැරලි නායකයන් දළදාවද පැහැර ගත්තේය. දළදාව හිමි තැනැත්තා සිංහල රාජ්‍ය උරුමය හිමි තැනැත්තාය. සිංහලේ රාජ්‍ය සම්ප්‍රදායය එයයි. මේ අනුව විලිබාවේ හෙවත් දොරේසාමි හඟුරන්කෙතදී විශාල පිරිසක් මධ්‍යයේ ‘වීරවික්‍රම ශ්‍රී කීර්ති‘ නමින් උඩරට රජ වශයෙන් ඔටුනු පැළැදීය.

එසේ නමුත් මොණරවිල කැප්පෙටිපොල, මඩුගල්ලේ සහ විල්බාවේ අතර ඇතිවූ මතභේද ඉංග්‍රීසීන්ගේ ජයග්‍රහණයට හේතුවිය. ස්වකීය පෞරාණික උරුමය ආරක්ෂා කර ගැනීමට සටන් කරන විට ඉංග්‍රීසීන් ඉතා කෘෘර ලෙස ගම්බිම් හරකාබාන විනාශ කරමින් දකින දකින අයට වෙඩි තබමින් ගෙනගිය නිවට නියාලු ප්‍රතිපත්තිවල සාධාරණත්වයක් නැතැයි ඉංග්‍රීසි ජාතික හෙන්රි මාෂල් සහ ආනන්ද කුමාරස්සාමි යන අය සදහන් කරයි. එපමණක්ද නොව 1815 උඩරට ගිවිසුමේ වගන්ති දෙකක් 1818 ඌව කැරැල්ලෙන් පසු වෙනස් කරන ලදී බුද්ධාගම ආරක්ෂා කිරීම පිළිබඳ වගන්තියත්, රදල ප්‍රධානීන්ගේ වරප්‍රසාද පිළිබඳ වගන්තියත්, වෙනස්කොට සියළු ආගම්වලට පොදුවේ සැළිකීමටත්, රදළවරුන්ට පමණක් නොව, සාමාන්‍ය මහජනතාවටත් එකසේ සැලකිය යුතුබවවත්, ඉංග්‍රීසීන් අදහස් කළේය. සටන් ප්‍රදේශ වශයෙන් සලකන බුත්තල, බිම්තැන්න, වියළුව, වෙල්ලස්ස ආදී ප්‍රදේශවලට බරපතල හානි සිදුකරන ලදී. තවදුරටත් සටන් පැන නගීය යන අදහස උඩ ඌවපරණගම, ඇටැම්පිටිය, පස්සර, අළුපොත, බදුල්ල, කොටබෝව වැනි ස්ථාන 1845 පමණ වනතුරු ඉංග්‍රීසි සේනාංක සමඟ යුධ කඳවුරු වශයෙන් තබාගත් බව පෙනේ. මේ සටන නිසා ඌවේ සංවර්ධනය වර්ෂ ගණනක් ගතවන තෙක්ම නොනැගිටින සේ විනාශ කර දමන ලදී. 1816 සර් බ්‍රවුන්රිග් ලංකාවේ උයන හැටියට සැලකූ ඌව මේ වන විට පාළු සොහොන් බිමක් බවට පත් කරන ලදී.

ඉංග්‍රීසි ආණ්ඩුව විසින් කැරලිකරුවන් සහ රාජද්‍රෝහීන් ලෙස නම්කළ 1818 උඩරට නිදහස් සටනේ පුරෝගාමීයෝ



කැප්පෙටිපොල දිසාව               - ඌව
ගොඩගෙදර අදිකාරම්               - ඌව
කැටකැලේ මොහොට්ටාල        - ඌව
මහබෙත්මෙරාල කතරගම        - ඌව
කුඩාබෙත්මෙරාල කතරගම      - ඌව
පළුගොල්ලේ මොහොට්ටාල    - ඌව
වටකැලේ මොහොට්ටාල         - ඌව
පොල්ගහගෙදර රෙහෙනරාල   - ඌව
පොස්සරවත්තේ විදානේ          - ඌව
කිව්ලේගෙදර මොහොට්ටාල    - වලපනේ
යාලගම මොහොට්ටාල            - වලපනේ
උඩමැදුරේ මොහොට්ටාල        - වලපනේ
කොහුකුඹුරේ රටේ රාළ           - වෙල්ලස්ස
බූටාවේ  රටේරාළ                    - වෙල්ලස්ස
බගිනිගහවෙල රටේ රාළ          - වෙල්ලස්ස
මහබදුල්ලේ ගම්මන රටේ රාළ - වෙල්ලස්ස
බුදුපිටිය මොහොට්ටාල            - වෙල්ලස්ස
පළුමල්හේන ගම්ඇතිරාල         - වෙල්ලස්ස


Monday, September 28, 2015

පරිසරය වනසන්නන්ට බැටදෙන කැබිලිත්තේ මද්දු



යාල වනයට අයත් කැබිලිත්ත දේවාලයට පැමිණෙන කාන්තාවන් පසු පස එළවා භූමියෙන් ඉවත් කිරීමටත් පරිසරයට හානි වන අයුරින් හැසිරෙන අය එළවා දමන අපූරු ආරක්ෂකයෙක් මේ දින වල සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන කාටත් දැක ගත හැකිය.
මද්දු යන නමින් කවුරුත් ආමන්ත්‍රණය කරන මෙම හස්තියා මේ වන විට කැබිලිත්තේ දේවාලයේ ආරක්ෂකයකු  ලෙස සැදැහැ සිතින් එන බැතිමතුන්ට දිවා රාත්‍රී  ආරක්ෂාව සපයමින් පුද පූජා තබන බැතිමතුන් දෙස බලා සිටින අතර කෑකෝ ගසමින් අසංවරව හැසිරෙන අය පසු පස ගොස් එළවා දැමීමට මෙම වන අලියා ක්‍රියා කරනු ලබනුයේ කිසියම් අත්භූත අයකුගේ අණක් පරිදිවේ.
මේ වන විට කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට විශාල ලෙස බැතිමතුන් මේ දිනවල යන අයුරු දැක ගත හැකි අතර මෙම පුදබිම වෙත කාන්තාවන් රැගෙන යෑම නුසුදුසු වුවත් බොහෝ පිරිසක් කාන්තාවන් රැගෙන යන අයුරු දැක ගත හැකිය.
පසුගිය 14 වැනි දින මොණරාගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ඔහුගේ බිරිඳ සමග පිරිසක් රාත්‍රී 7 ට පමණ මෙම ස්ථානයේ ඇති බෝධියට වැඳීමට ගිය අවස්ථාවේදී  මම අලියා විසින් ඔවුන් පසු පස එළවීම නිසා අදාළ දේශපාලනඥයා දිවගොස් දිවි බේරා ගන්නා ලදී.
විශේෂයෙන් කාන්තාවන් සමග පැමිණෙන පිරිස් වෙත කඩා පනින මෙම අලියාට සහය වීම පිණිස තවත් වන අලියකු ද සහය දෙමින් මෙම ස්ථානයේම පසුවේ.
වන්දනා කරුවන් රැගෙන යන ජීප් රථ කරුවන් මෙම අලියා හොඳින් හඳුනන අතර අලියා බැතිමතුන් පූජාව පිළියෙළ කරනු ලබන ස්ථානයන් වෙත පැමිණ බලා සිටී. බැතිමතුන් විසින් ලබා දෙනු ලබන පලතුරු  පමණක් අනුභවය කරන මෙම අලියා කිසිදු අයුරකින් බලහත්කාරයෙන් පලතුරු ඇතුළු කෑම බිම ලබා නොගන්නා බව මෙහි යන එන අය පවසයි.




රාත්‍රි දිවා සෑම මොහොතක මෙම සියඹලා දේවාලය වටා සැරිසරණ මෙම අලියා බිමත්ව සිටි එක් අයකුට පසුගියදා පහර දී ඇති අතර මේ වන විට අලියා පසු පස එළවීම නිසා තුවාල සිදුවූ බොහෝ පිරිසක්ද සිටිති.
අලියා නිතර නිතර අඳුරෙන් මතුවීම නිසා අලියා ගැන නොදන්නා බැතිමතුන් සීසීකඩ දිව යන අයුරු දැක ගත හැකි වූ අතර මග පෙන්වන්නන් සමග යන අයට කිසිදු බියක් නොවන අයුරින් අලියා සමග සුහද වී තම පූජාවන් නිසි අයුරින් තබා ගැනීමට ක්‍රියා කරති.
මේ වන විට කැබිලිත්ත දේවාලයට මෙගොඩ කුඹුක්කන් ඔය අසල තිබූ වැසිකිළි අබලන් වී පාවිච්චියට නොගැළපෙන අතර බැතිමතුන් සිය අවශ්‍යතාවන් සිදු කර ගනු ලබන්නේ ගං ඉවුරු තුළ වීම නිසා පුද බිම අපිරිසිදු වීමට පටන් ගෙන තිබේ.
මෙසේ ගං ඉවුරු තුළ මලපහ කරනු ලැබූ විශාල පිරිසකට මෙම අලියා සිය කර්ත්‍යවය කිරීමට පවා ඉඩ නොදී බැතිමතුන් පසු පස එළවා පහර දෙන්නට ගිය අවස්ථා කීපයක් පසුගියදා සිදු වූ බව බැතිමතුන් රැගෙන යන ජීප් රථ හිමියන් පවසයි.
මෙම අලියා රාත්‍රී කාලයේදි නොපෙනන නිසා වැඩි පිරිසක් දිවා කාලයේ දී පූජාවන් තැබිමට ක්‍රියා කරන අතර අලියා සමග හීලෑ වූ නඩ සංවිධානය කරන කපු මහතුන් සිය පුද පුජා කටයුතු නිසි අයුරින් සිදු කරන අයුරු දැක ගත හැකිය. 
මෙම අලියා විසින් බැතිමතුන් සිටින ඉසව්වට පැමිණෙන වළසුන්, ඌරන්, දිවියන් වැනි සතුන් පළවා හැර බැතිමතුන්ව ආරක්ෂා කරනු ලබන අතර එක් වන අලියකුට හැර වෙනත් වන අලින්ට මෙම සීමාවට පැමිණීමට මෙම සද්ධන්තයා ඉඩ නොදෙන බව බැතිමත්හු පවසති.
නිතරම දේවාල භූමියේ සිටින මෙම අලියාට අලි සිකුරුටි ලොක්කා යනුවෙන් බැතිමතුන් නම තබා ඇත.

කේ. ඩී. දේවප්‍රිය - කතරගම

ලක්බිම පුවත්පත

Search This Blog