Tuesday, April 8, 2014

හපුතලේ කන්දෙන් කන්දට කෝච්චි එළිය වැටෙන විට හරිම ලස්සනයි

සද්ධන්ත ප්‍රේමය සුන්දරයි, මහවන මැදට රකුසන් ඇවිත්, රන් පොළොව සාගින්න හා මරණය වැනි සොබා දහමත් ගොවිතැනත් එක් කොටගත් පොතපත ඇසුරු කරන විට ප්‍රවීණ පරිසර මාධ්‍යවේදියකු වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා කෙතරම් පරිසරය හා බැදුනෙකු දැයි අපට පැහැදිලි වෙයි. උපන්ගම රත්නපුර වූ නිසාම කිරිඇල්ල සමූහ වාර්තාකරු ලෙස 1989 දි දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ ඔහුගේ සේවය සිළුමිණට ද ලැබිණි. 1991 දී බදාදා ලංකාදීපයේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කළ ඔහු 1994 ඇරැඹුණු ඉරිදා ලක්බිම පුවත්පතේ ආරම්භක සාමාජිකයකු විය. හොඳම පාරිසරික මාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් ප්‍රථම වරට 1998 දී පිදුම් ලද ඔහු ඉන් වසර දෙකකට පසු ඇරැඹි දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රාදේශීය කර්තෘවරයා ලෙස දහතුන් වසරක් සේවය කළේය. මේ වන විට සහාකර කතුවරයකු ලෙස ඔහුගේ සේවය සපයන්නේ ඉරුදින පුවත්පතටයි.




පරිසර මාධ්‍යවේදියකු ලෙස රට පුරා බොහෝ තැන්වල ඇවිද ඇති ඔහුගේ දෙනෙතට නිරීක්ෂණය වූ බොහෝ ලස්සන තැන් තිබිය යුතුය. එහෙත් පරිසරලෝලියකු දුටු ලස්සනම තැන විය යුත්තේ පරිසර සුන්දරත්වය මෙන් ම දැනුමක් ලැබිය හැකි ස්ථානයක් බව ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතාගේ අදහසයි. ඔහු එය විස්තර කරන්නේ මෙසේය.



“පරිසරය ගැන උනන්දුවන කවුරුන් හෝ වේවා. ජීවිතේ එක වතාවක්වත් ඇවිද තිබෙන්න එන ප්‍රදේශයක් තමයි මේ.”



තමන් විඳි සොබා සොඳුරු චමත්කාරය කෙතරම් ද යන්න කීමට මුල පුරමින් කී ඔහු පළමුව එහි යන ගමන් මාර්ගය දීර්ඝ වශයෙන් දැක්වූයේය.



“කොළඹ බදුල්ල පාරේ බෙලිහුල් ඔය පහුකරගෙන උඩට යනකොට හපුතලේ ආශ්‍රිතව සංචාරයේ යෙදෙන්න මම කැමති, ඉතා කෙටි දුරකදී විවිධ දේශගුණික වෙනස්කම් අත්විඳින්න පුළුවන් නිසයි.”



“මේ පාර කළුපහන, බෙරයක් වගේ ගල් පර්වත හමුවන බෙරගල හරහා ගමන් කරන්නේ. වම් පැත්තේ උසට පේන්නේ මධ්‍යම කඳුකරය. එහි උඩින් ම හෝර්ටන්තැන්න දකුණු පැත්තේ වළවේ ගං නිම්නය. ඊට මෙපිටින් කිරිඳි ඔය නිම්නය. ඒ කිරිඳි ඔය ලෙස පහළ දී හඳුන්වන්නේ දියලුම ඇල්ලනේ. ඒ වගේ දිය ඇලි, ගංගා ගැන කතා කළොත් බණ්ඩාරවෙලට එහා කුඹල්වල හන්දියෙන් මාවනැල්ල පාරේ එද්දි රාවණා ඇල්ල හමුවෙනවා. ඒ දිය පහර කුඩා ඔය නමින් පහළ දී හමුවෙනවා.”



ඉන්පසු ඔහු බෙරගල පාර පිළිබඳ එක් එක් අය දුටු අයුරු ද විස්තර කළේය.



“බෙරගල ඉඳන් බලද්දි අපට පේන්නේ දැඩි බෑවුමක්නේ. භූගෝලියව සැලකුවොත් එය මධ්‍යම කඳුකරයේ පර්වත වේදිකාව කියන්න පුළුවන්. ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහත්මයා වරක් ලියා තිබුණා මට මතකයි මේ වේදිකාවේ සිට බලන විට පිදුරුතලාගල පාමුල වැතිරුණු පුංචි දරුවන් වගේ පොඩි පොඩි කඳු පේනවා කියලා. ඇත්තෙන් ම කොත් ආකාර කඳු රැසක් තැනින් තැන නැඟී සිටින හැටි බලන්න හරිම අපූරුයි.”



“ඒ වගේම බදුලු කෝච්චිය පට්ටිපොළ ඉඳන් හපුතලේ පැත්තට මහ පාන්දර ජාමෙට යනකොට කන්දෙන් කන්දට කෝච්චියේ පහන් එළිය වදින හැටි බලන්න ලස්සනයි. ඒත් එය බොහොම අහම්බෙන් තමයි දකින්න වෙන්නේ. මොකද කෝච්චිය යන වෙලාවට ඒ පාර අයිනේ ඉඳන් බලා ඉන්න කවුරුවත් නිදිවරන්නේ නැති නිසා.”



සිනාසී එසේ කියූ ඔහු හපුතලේ පාරේ ඉතිහාසය ද සිහි කිරීමට අමතක කළේ නැත.



“බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, කෝපි ආදිය ගෙනියන්න හැදුව පාර තමයි ඒ. කිලෝමීටර දොළහක් පමණ දුර මේ කරත්ත පාර අතිශයින් ම දුෂ්කර එකක්. ඒකනේ අපේ ජනශ්‍රැතිවල එන කරත්ත කවිවල හපුතලේ... කන්ද දැකලා බඩ දනවා... කියලා කීවේ.”



“තනිකර තේවතු තිබුණු පළාතක් වුණාට දැන් නම් එළවළු එහෙමත් තිබෙනවා. ඇඩිසන් බංගලාවත් මේ පාරේ තිබෙන අපූරු ස්ථානයක්. ඒ වගේ ම නොයෙක් නොයෙක් පරිසර පද්ධති මේ පාර දෙපස දකින්න පුළුවන්.”




“කඳු පන්තියක ඉහළ දිගේ යද්දි ඒවායේ නිම්න පෙනෙන්නේ හරිම චමත්කාරජනක විදිහකට. ඒ කඳු නාරටිය දිගේ හැන්දෑවට ඇවිදින කොට කොත් වගේ පෙනෙන කඳු ගැටි අතර මීදුම රැඳිලා, හරියට වලාකුළු ගංගාවකින් මතු වුණු දූපත් වගේ පෙනෙද්දි මැවෙන්නේ අමුතුම සුන්දරත්වයක්.”



“අද ඊයේ නෙවෙයි මේ දර්ශනය එදා සිට දකින්න ලැබුණු බවට හොඳ සාක්ෂියක් තමයි ඊ. කොළොන්නගේ විසින් පරිවර්තනය කළ “අලිපාර” නවකතාවේ මේ මඟ දෙපස ලස්සන ගැන කෙරෙන විස්තරය.”



තමන් විසින් දකින ලද ඒ චමත්කාරය දෙස ඔහු මනසින් මොහොතක් බලා සිටියා වැන්න. ඉන්පසු ඒ පාර දිග බොහෝ දුරක් ඔහු ගමන් කළා සේ යළිත් විස්තර කියන්නට ගත්තේය.



“හපුතලෙන් තවත් ටිකක් ඉහළට ගියාම ඉදල්ගස් හින්න දුම්රිය ස්ථානය තිබෙනවා. ඒ හරියෙන් බලද්දි වළවේ නිම්නය වගේ ම මහවැලියේ පරිවාර නිම්නය දිලිසෙන රිදී කඳක් වගේ දිය දහර පළාවන් පැහැය මතුවන පරිදි තැනින්තැන ගුරු පැහැය මිශ්‍රවුණු කඳු යාය අතරින් රටාවකට ගලා බසින්නේ දර්ශනීය භූමි දර්ශන මවමින්.”




ඉන්පසු ඔහු ඇඟට දැනෙන සොබා දහමේ වෙනස ගැනද කීවේය.



හපුතලේ හරිය ශීත දේශගුණය නිසා එහි වැඩෙන ගස්වැල්, සතුන් වගේ ම පරිසර පද්ධතියේ සංයුතිය දියලුම හරියෙදි දැඩි රස්නයට මාරු වෙනවා. ඇත්තෙන්ම පිච්චෙන අව්වක් තිබෙන්නේ. විශේෂයෙන් රාවණ ඇල්ල ප්‍රදේශයේ කට්ට අව්ව.”



ඇත්තෙන්ම ලංකාවේ දේශගුණික කලාප කීපයක වෙනස මේ ම‍ඟේ ගමන් කරන කෙටි දුරකදි විඳින්න පුළුවන්. හෝර්ටන් වගේම ශ්‍රිපාද මහ රක්ෂිතය ගංගා දියසීරාව සහිත ජලපෝෂක ප්‍රදේශ සහිත ප්‍රධාන තෙත් කලාපීය වනයත් ඉන් පහළට කිරිඳි ඔයේ ඉහත්තෑවේ සිට කැලෑ කුට්ටියත් දියලුම ඇල්ල දෙසට හා කොස්ලන්ද පැත්තට අතරමැදි දේශගුණය සහිත වනාන්තරත්, උඩවලවේ, ලුණුගම්වෙහෙර, ගම්පහ පෙදෙසට වියළි කලාපීය ලක්ෂණත් හොඳීන් දැනෙනවා.”



ඉන්පසු ඔහු කීවේ තමන් බොහෝ සෙයින් ප්‍රිය කරන අලි ඇතුන් වසන පෙදෙස ගැනය.



“බණ්ඩාරවෙල නගරයේ පොළ තිබෙන හරියෙන් දකුණට දියලුම හරහා කොස්ලන්දට යද්දී දර්ශනය හරිම විචිත්‍රයි. කඳු නාරටියෙන් නාරටියට පාර තිබෙන තැන්වල එහෙම තමයි. ඒ පාර වැටෙන්නේ දියලුම ඇල්ලේ මුදුනතටයි. ඒ ප්‍රදේශයේ විශේෂත්වය තමයි වළවේ හා ලුණුගම්වෙහෙර අලින් මේ හරියට පැමිණීම. යම් අවදානමක් තිබුණත් අලින් දකින්න අපි කැමැතිනේ.”



දිගින් දිගට තමන් දුටු ලස්සනම තැන වූ හපුතලේ කඳු නාරටි මාර්ගය පිළිබඳ විස්තර කළ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා. එහි වටිනාකම අප කෙතරම් අවබෝධ කරගෙන ඇත්ද යන්න පිළිබඳ මෙසේ විමසුවේය.



“මේ කලාපයට මම දැන් අවුරුදු තුනකින් පමණ ගියේ නෑ. හැබැයි එහි ගොල්ෆ් පිටියක් හදන්න යන බවට ආන්දෝලනාත්මක ආරංචියක් ලැබුණා. එය ඇත්තක් නම් පරිසරයට එයින් සිදුවන්නේ විශාල හානියක්.”



ඒ වගේම මෙහි ප්‍රධානතම පරිසර ගැටලුව තමයි වනාන්තර ඇතුළට එළවලු භෝග වගාව ව්‍යාප්ත වීම. එහි හානිය වන්නේ කෘෂි රසායන භාවිතය නිසා ජල පෝෂක හා ජල උල්පත්වලට ඒ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් ඒ වතුරෙන් යැපෙන පහළ කලාපයේ වැව් ටිකත් දූෂණය වීමයි. අනෙක හුදෙකලා ඉඩම්වල ගස් කපනවා. අනවශ්‍ය ඉදිකිරීම් නිසා විනාශයට පත් වෙනවා. විශේෂයෙන් නාකැටිය වැනි විශාලම නාය ගිය ප්‍රදේශය පවා ඇති මේ භූමි ප්‍රදේශයේ නීතිය නීතිය හැටියට ක්‍රියාත්මක වෙනවා නම් මේ පරිසර පද්ධති රැකෙයි. බණ්ඩාරවෙලටත් අලි එන තරමට අලි මිනිස් ගැටුමත් ප්‍රදේශයට ප්‍රශ්නයක් වන්නේ මෙහි පරිසර ස්වභාවය පිළිබඳ නිසි අවබෝධයකින් සුරැකීමේ කටයුතු නොකෙරෙන නිසා ද කියන පැනය අපට මතු වෙනවා.”



“අපි දුටු ලස්සන අපට ම වුණත් අනාගතේදි දකින්න නම් මේ දේවල් තුලනාත්මකව කළමනාකරණය විය යුතුයි.



‘සිළුමිණ’අන්තර්ජාල සංස්කරණය: ලේක්හවුස් - ශී‍්‍ර ලංකා

http://www.silumina.lk/2014/04/06/_art.asp?fn=ay1404061

No comments:

Search This Blog