Wednesday, April 23, 2014

බදුල්ලෙන් හමුවූ දහම් දෙසන බුදුරුව

ක්‍රි. ව. 6 වැනි සියවසට අයත් බවට විශ්වාස කෙරෙන 'දහම් දෙසන බුදුරුව' බදුල්ල දිස්ත්‍රික්කයෙන් හමු වී තිබේ. සෙ. මී. 54.5ක් උසැති මෙම බුදු රුව වීරාසන ඉරියව්වෙන් නිර්මාණය කොට ඇත. දකුණු අතින් විතර්ක මුද්‍රාවත්, වම් අතින් කටක මුද්‍රාවත් දක්වන 'දහම් දෙසන බුදුරුව' සිවුරු කොන් දරා, වැඩ සිටින ඉරියව්වෙන් නිමවා තිබේ.



දක්ෂිණාවර්ථ කෙස් පිඬු සහිත හිස මුදුනේ උෂ්ණීෂය මඳක් ඉහළින් නිමවා ඇති මෙම බුදුරුවේ තථාගතයන් වහන්සේ දහම් දෙසන ඉරියව්ව මැනවින් මතු කර තිබේ. දක්ෂිණ උරය විවෘත ආකාරයෙන් පවතින මෙම දහම් දෙසන බුදුරුවේ ඇති විශේෂත්වයක් වන්නේ සිරුර විනිවිද පෙනෙන ආකාරයට පොරවන ලද චීවරයේ තනි රැලි උඩට විහිදී තිබීමයි. ශරීරය ඍජුව පිහිටන පරිදි මහා පුරුෂ ලක්ෂණයන්හි පෙනුමට නිතැතින්ම උසස් තැනක් හිමි කර දෙමින් නිමවා ඇති මෙම දම් දෙසන බුදු රුවේ නෙත් විවෘතව පවතී.

පූර්ව අවධානයෙන් යුතුව දහම් දෙසන ඉරියව්වෙන් නිමවා ඇති මෙම බුදුරුව ශුෂිර වාත්තු ක්‍රමයට නිමවා ඇත. වෙනත් බුදු රුව මෙන් නොවූ මෙම සම්ප්‍රදායට අයත් බුදු රුව ඇත්තේ ඉතා දුලබ වශයෙනි.

ක්‍රි. ව. 6 වැනි සියවස තෙක් අතීතයට දිවෙන මෙම ඉපැරැණි දහම් දෙසන බුදුරුව ජාතියට උරුම වූ කෞතුක වස්තුවක් වන අතර මේ වනවිට එය කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ප්‍රදර්ශනය පිණිස තැන්පත්කොට තිබේ.

සටහන/ඡායාරූප - සමිත් මධුරංග
http://www.mawbima.lk/95-55904-news-detail.html

1 comment:

Sandamal said...

ඉන්ටරස්ටිං ස්ටෆ් .. තෑන්ක්ස් ෆෝ ශෙයාරිං

Search This Blog